මැලේසියාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තියුණු ජයක්

ආසියානු දැල්පන්දු ශූරතාවය 2022

1860

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය වූ මැලේසියා කණ්ඩායමට එරෙහිව තරගය ලකුණු 55-53ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

මූලික වටයේ සහභාගී වූ තරග දෙකෙන්ම ඉතා දැවැන්ත ජයග්‍රහණ ලබා ගනිමින් ශ්‍රී ලංකාව මෙම තරගයට පිවිසි අතර ආසියානු පිටියේ කැපී පෙනෙන කණ්ඩායමක් වන මැලේසියා කණ්ඩායම ද තරගයට පිවිසියේ හොඳ මානසිකත්වයනුයි.

ප්‍රේක්ෂකයන් අපේක්ෂා කළ පරිදි ඉතා උණුසුම් පළමු කාර්තුවක් දැක ගැනීමට හැකි වූ අතර දෙපිලටම දෝලනය වූ එම වටය අවසන් වන විට ලකුණු 16-13ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුනේ මැලේසියාවයි.

පළමු කාර්තුවට වඩා තියුණු මුහුණුවරක් ගත් දෙවැනි වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිය ලකුණු පරතරය අවම කර ගැනීමට සමත් වූ අතර එම අර්ධය අවසන් වුනේ ලකුණු 30-30ක් ලෙස කණ්ඩායම් ද්විත්වයම සමව තබමිනුයි.

තෙවැනි කාර්තුවේ දී පෙරට වඩා තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම කාර්තුව තුළ ලකුණු 15ක් සිය ලකුණු පුවරුවට එක් කරද්දී මැලේසියානු ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකි වුනේ ලකුණු 8ක් පමණයි.

ඒ නිසා තීරණාත්මක අවසන් කාර්තුව ආරම්භ වීමට පෙර ලකුණු තත්වය දිස්වුනේ 45-38ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ තබමිනුයි.

තරගයේ අවසන් කාර්තුවේ දී ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් ලබා දෙමින් ලකුණු 15ක් ලබා ගැනීමට මැලේසියානු ක්‍රීඩිකාවන්ට හැකි වූවත් එම කාර්තුවේ දී ලකුණු 10ක් ලබා ගෙන සිය පරතරය රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

ඒ අනුව තරගය ලකුණු 55-53ක් ලෙස ඉතා තියුණු කාර්තු හතරකින් පසුව ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 55 – 53 මැලේසියාව

මෙම වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය හෙට (07) ප්‍රබල සිංගප්පූරුව සමඟින් පැවැත්වීමට නියමිතයි. එම තරගයේ ඇතුළු තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<