ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිංගප්පූරුවත් පරාජය කරමින් පෙරමුණට

ආසියානු දැල් පන්දු ශූරතාවය 2022

812
Asian Netball Championship 2022

සිංගප්පූරුවේ දී පැවැත්වෙන 2022 ආසියානු දැල්පන්දු ශූරතාවයේ දෙවැනි වටයේ අද (07) පැවති තරගයෙන් ලකුණු 67-49ක් ලෙස සිංගප්පූරුව පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

මූලික වටයේ ලැබූ දැවැන්ත ජයග්‍රහණ ද්විත්වයත් සමඟින් දෙවැනි වටයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙවැනි වටයේ සහභාගී වූ පළමු තරගයෙන් මැලේසියාව හමුවේ තියුණු ජයක් ලබා ගන්නට සමත් වුනා.

එම ජයග්‍රාහී මානසිකත්වයෙන් සත්කාරක සිංගප්පූරුව සමඟ තරගයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු කාර්තුව කැපී පෙනෙන දස්කම් සමඟින් අවසන් කළේ ලකුණු 11-15ක් ලෙසයි.

දෙවැනි කාර්තුවේ දී නැවතත් සිය ආධිපත්‍ය පැතිර වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම කාර්තුව තුළ ලකුණු 21ක් රැස් කරද්දී, සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකි වුනේ ලකුණු 15ක් පමණයි.

 ඒ අනුව පළමු අර්ධය අවසානයේ දී ලකුණු 36-26ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවුනා.

තරගයේ තීරණාත්මක වූ තෙවැනි කාර්තුවේත් සිය ආධිපත්‍ය පැතිර වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම කාර්තුව අවසන් කළේ ලකුණු 52-38ක් ලෙස තරගයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාව වෙත නතු කරමින්.

අවසන් කාර්තුවේ දී ද සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට හොඳින් අභියෝග කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ලකුණු 17ක් රැස් කරද්දී, එයට පිළිතුරු වශයෙන් සිංගප්පූරු ක්‍රීඩිකාවන් ලකුණු 11ක් රැස් කළත් එය තරගයේ වෙනසක් කිරීමට ප්‍රමාණවත් වුනේ නැහැ.

ඒ අනුව තරගයේ සම්පූර්ණ අර්ධ දෙක අවසන් වන විට ලකුණු 67-49ක් ලෙස ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනේ සිය අපරාජිකත්වය තව දුරටත් ඉදිරියට රැගෙන යමිනුයි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 67 – 49 සිංගප්පූරුව  

තරගාවලියේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය හෙට (08) හොංකොං කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත අතර එම තරගයේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<