ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක්

ආසියානු දැල් පන්දු ශූරතාවය 2022

1049
Netball Singapore

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතාවය ආරම්භ කරමින් පැවති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් ලකුණු 102-14ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

වත්මන් ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු කාර්තුව සිටම ඉන්දීය ක්‍රීඩිකාවන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ අතර පළමු කාර්තුව අවසන් වන විට ලකුණු 34-02ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියා.

පළමු අර්ධයේ ලද ආධිපත්‍ය දෙවැනි කාර්තුවේත් පැතිර වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම අර්ධයේ දී තවත් ලකුණු  24ක් සිය ලකුණු පුවරුවට එක් කරගන්නට සමත් වෙද්දී, ඉන්දීය ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකි වුනේ එක් ලකුණක් පමණයි.

ඒ අනුව පළමු අර්ධය අවසන් වන විට ලකුණු තත්වය දැක්වුනේ 58-3ක් ලෙසයි.

තරගයේ තෙවැනි කාර්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 21ක් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වූ අතර පෙර කාර්තුවලට වඩා තරමක් හොඳින් ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවන් එම අර්ධය තුළ ලකුණු 7ක් ලබා ගන්නට සමත් වුනා.

තරගයේ තෙවැනි කාර්තුව අවසන් වන විට ලකුණු 79–10ක් ලෙස තරගයේ ජය තහවුරු කර සිටීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

සිව්වැනි සහ අවසන් කාර්තුවේ දී ඉන්දීය ක්‍රීඩිකාවන් සිය ලකුණු පුවරුවට ලකුණු 4ක් එක් කරද්දී ඔවුන්ව එම අර්ධයේ ද අසරණ කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 23ක් ලබා ගන්නට සමත් වුනා.

ඒ සමඟ තරගය අවසන් වුනේ ලකුණු 102-14ක් ලෙස ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක් තිළිණ කරමිනුයි.

අවසන් ලකුණු තත්වය:  ශ්‍රී ලංකාව 114 – 14 ඉන්දියාව

ආසියානු දැල්පන්දු පිටියේ වත්මන් ශූරියන් වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙවර තරගාවලියේ මූලික වටයේ දී A කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර ඔවුන් සහභාගී වන මීළඟ තරගය පිලිපීනය සමඟින් සඳුදා (05) පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ සියලූම තොරතුරු දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<