Yuzvendraගේ තැනට ආ වනිඳුට කණ්ඩායමෙන් පැසසුම්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

4018

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර පැවති වෙන්දේසියේ දී වඩාත්ම කතාබහට ලක්වූ මිල දී ගැනීමක් වූයේ ඒ වන විට ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා වූ වනිඳු හසරංග Royal Challengers Bangalore විසින් මිල දී ගැනීමයි.

මෙම වෙන්දේසියේ දී ඒ වන විට Royal Challengers Bangalore කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා වූ Yuzvendra Chahal කණ්ඩායමට අහිමි වුනා.

තම කණ්ඩායමේ මිල දී ගැනීම පිළිබඳව අදහස් දක්වමින් පුහුණුකරු Mike Hesson පවසා සිටියේ තමාට සහ සහායක කාර්ය මණ්ඩලයට හැඟෙන පරිදි ශ්‍රී ලංකා පා දඟපන්දු යවන්නා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහුගෙන් බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාර්‍යභාරයක් ඉටු කර ඇති බවයි.

වත්මන් ලීග් තරගාවලියේ දෙවැනි වැඩිම කඩුලු ලාභියා වන හසරංග පසුගිය දා කඩුලු 5ක් දවා ගනිමින් තම කණ්ඩායම Sunrisers Hyderabadට එරෙහිව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා.

තරගාවලියේ ආරම්භයේ සිටම හසරංග නිතරම ප්‍රබල ක්‍රීඩකයන් දවා ගන්න සමත් වුනා. ඒ වගේම හැම තරගයක දී ම ඔහු මැද පන්දුවාරවල දී කඩුලු දවා ගනිමින් අපව නැවත තරගයට ගෙන ඒමට සමත් වුනා. සමහර වෙලාවට ඔහු ලකුණු 28කට එක කඩුල්ලක් ලබාගන්න ඇති. ඒ නිසා ඔහුව ගොඩක් කැපී පෙනුණ නැති අවස්ථාවන් තිබුණා. ඒත් ඔහු කණ්ඩායම වෙනුවෙන් හොඳ කාර්යයක් ඉටු කළා”, Royal Challengers Bangalore විසින් නිෂ්පාදනය කරන RCB Bold Diaries වෙත අදහස් දක්වමින් ක්‍රිකට් අධ්‍යක්ෂ Mike Hesson පවසා සිටියා.

පසුගිය වසර කිහිපය තුළ Royal Challengers Bangalore කණ්ඩායමේ හොඳම පන්දු යවන්නෙකු වූ Chahal, මෙවර තරඟ වාරයට පෙර කණ්ඩායමෙන් ඉවත්වුවත් එම හිස්තැන ශ්‍රී ලංකා ක්‍රීඩකයා විසින් අපූරු ලෙස පුරවන බව Hesson පවසනවා.

අපේ කණ්ඩායමේ හිටපු සර්වකාලීන සුපිරි ක්‍රීඩකයෙක් වන Yuzvendra වගේ කෙනෙක්ට ආදේශකයක් සොයා ගැනීම හරිම අමාරුයි. ඔහු Royal Challengers Bangalore කණ්ඩායමේ ප්‍රතිමූර්තියක් වගේ. හසරංග ඔහුගේ ආදේශකය විදිහට අපි මිල දී ගත්තා. තරගාවලිය අවසන් වෙන්න කලින්ම ඔහු අපිට පෙන්වුවා ඔහු Yuzvendra වගේම හොඳ ක්‍රීඩකයෙක් බව”, Hesson පවසා සිටියා.

Royal Challengers Bangalore හි පිතිකරණ සහ දඟපන්දු යැවීමේ පුහුණුකරු Sridharan Sriram ද 24 හැවිරිදි වනිඳු හසරංගගේ දස්කම් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉක්මවා යාම ගැන ප්‍රශංසා කර තිබුණා.

අපි ඔහු සමඟ මූලිකවම කළේ ඔහුගේ දිවීම පාලනය කිරීම. ඒක ගොඩක් වෙලාවන් වලදී ඉහළ පහළ ගොස් තිබුණා. ඒ නිසා අපි ඔහුගේ දිවීම පාලනය කරලා සකස් කළා. මේ නිසා දැන් ඔහු ලබා පන්දු යවන වේගය බොහෝ දුරට සමානයි.

මුලින් එයට මිශ්‍ර රටාවක් තිබුණේ. ඔහු වේගයෙන්, සෙමින් දුවනවා. නමුත් දුවන වේගය, ඔහු දුවන කෝණ වගේම ඔහු පන්දුව එල්ල කරන තැන සිට අපි අත්හදා බැලීම් උත්සාහ කළා. ඔහු දැන් ක්‍රීඩා කරන ආකාරය වඩා හොඳයි. ඒ නිසා මම හිතන්නේ එහෙන් මෙහෙන් පොඩි පොඩි වෙනස්කම් කරලා තියෙනවා. දවස අවසානයේ දී ඒ වෙනස්කම්වල ප්‍රතිඵල ලබා දෙනවා”, Sridharan Sriram පවසා සිටියා.

“Yuzvendra Chahal සඳහා ක්‍රීඩකයෙක් ආදේශ කිරීම පහසු කාර්යයක් නෙමෙයි. ඒත් හසරංග කණ්ඩායමට පැමිණෙන්නේ ඇදහිය නොහැකි බලාපොරොත්තු එක්ක. Yuzvendra Chahal RCB වෙනුවෙන් කළ දේ හැමෝම දන්නවා. ඔහුගේ ආදේශකය විදිහට පැමිණිලා ඔහුගේ හිස්තැන පුරවාගෙන දැන් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණීමේ සම්පූර්ණ ගෞරවය වනිඳු හසරංගට හිමිවෙනවා. විශේෂයෙන් ඔහු ඉන්දීය ක්‍රීඩාලෝලීන්ගේ අපේක්ෂාවන් එක්ක එන පීඩනය මනාව හසුරුවා ගෙන තියනවා.”

ඔහුට මුහුණ දීමට සිදු වූ සමහර විවේචන සහ ඒ සෑම අවස්ථාවක දී ම ඔහු ක්‍රීඩා කර ඇති ආකාරය, ඔහුගේ ස්වභාවය පිළිබඳ ඇදහිය නොහැකි සාක්ෂියක්.”

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී එල්ල වන පීඩනය හැසිරවීම පිළිබඳව වනිඳු හසරංග අදහස් දක්වා සිටියා.

මම අභියෝග ලබා ගැනීමට කැමතියි. එතකොට මට පීඩන තත්වයන් හැසිරවීම ඉතා පහසුයි.”

Times of India ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<