දිනාරාට ඉදිරි වටය අහිමි වෙද්දී, පෙහන්සාගේ බලාපොරොත්තු සුන්

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

1989
Asian Junior Athletics Championship 2023

දකුණු කොරියාවේ දී පැවැත්වෙන 20 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනයේ තරග ඉසව් නියෝජනය කරමින් කෙටිදුර ක්‍රීඩිකා දිනාරා බණ්ඩාර සහ උස පැනීමේ ක්‍රීඩිකා පෙහන්සා ගමගේ අද (06) තරග බිමට පිවිසියා.

බාලිකා මීටර් 200 ඉසව්ව නියෝජනය කරමින් පළමු මූලික තරගයට එක් වූ දිනාරා බණ්ඩාර එම තරගය තත්පර 24.93ක කාලයකින් අවසන් කළේ පස්වැන්නා ලෙසයි. එම නිසා තරගයේ ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇයට හැකි වුනේ නැහැ.

දිනාරා මෙම තරගාවලියේ සහභාගී වූ දෙවැනි ඉසව්ව මෙය වූ අතර මීටර් 100 කාන්තා තරගයට සහභාගී වූ ඇය එහි අවසන් තරගය අටවැන්නා ලෙස අවසන් කළා.

අද දිනයේ තරග කළ දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වූ උස පැනීමේ ක්‍රීඩිකා පෙහන්සා ගමගේට සාර්ථකව තරණය කිරීමට හැකි වුනේ මීටර් 1.60ක උසක් පමණයි. එයින් පසු ඇයගේ සියලු උත්සාහයන් අසාර්ථක වූ නිසා ඇය තරගය අවසන් කළේ 12 වැන්නා ලෙසයි.

ඒ අනුව තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ ඉසව් සියල්ල අවසන් වූ අතර තරගාවලියේ තරමක කැපී පෙනෙන දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් දෙකක් සහිතව සමස්ත පදක්කම් පහක් දිනා ගත්තා.

තරගාවලියේ වැඩි අවධානය දිනා ගත් ක්‍රීඩිකාව බවට පත් වෙමින් තරුෂි කරුණාරත්න රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුනේ එම දස්කම පෑ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත් වෙමිනුයි.

20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ ඉහළ දස්කම් දක්වමින් ලක් මාතාවට ගෞරවයක් ගෙනා සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ThePapare.com උණුසුම් සුබ පැතුම්.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් මලල ක්‍රීඩා පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<