තරුෂි රිදී දිනද්දී, ජයේෂිට ලෝකඩ පදක්කමක්

20 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

396

දකුණු කොරියාවේ දී පැවැත්වෙන 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ පළමු දිනයේ තරග අද (04) නිමාවට පත්වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා ගැනීම ආරම්භ කරමින් බාලිකා මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සහ ජයේෂි උත්තරා සමත් වුනා.

ඉසව්ව තත්පර 53.70ක කාලයකින් අවසන් කිරීමට තරුෂි සමත් වූ අතර ජයේෂි තරගය අවසන් කළේ තත්පර 55.51ක කාලයකිනුයි. එම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගත් ඉන්දීය ක්‍රීඩිකා Mallick Heena වාර්තා කළ කාලය තත්පර 53.31ක්.

ඒ අනුව එම ඉසව්වෙන් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර 1994 වසරෙන් පසු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ කාන්තා ඉසව්වක පදක්කම් දෙකක් එක වර දිනා ගත් පළමු අවස්ථාව ලෙස ද මෙය සටහන් වුනා.

අද දිනයේ පිරිමි මීටර් 100 ඉසව්ව නියෝජනය කරමින් අවසන් පූර්ව තරගයට සහභාගී වූ මෙරෝන් විජේසිංහ තත්පර 10.75ක කාලයකින් තරගය හයවැන්නා ලෙස අවසන් කළා. මෙය ඔහු ඉසව්ව සඳහා වාර්තා කළ පෞද්ගලික හොඳම කාලය වූවත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔහුට හැකි වුනේ නැහැ.

කාන්තා මීටර් 100 ඉසව්වේ මූලික තරග සඳහා සහභාගී වූ දිනාරා බණ්ඩාර තත්පර 12.05ක කාලයකින් පළමුවැන්නා ලෙස තරගය අවසන් කරමින් මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව අද මීටර් 800 මූලික තරගයට සහභාගී වූ ශෙහාන් දිල්රංග හයවැන්නා ලෙස තරගය අවසන් කළත්, ඉදිරි වටයට සුදුසුකම් ලැබුවේ නැහැ. ඔහු වාර්තා කළ කාලය මිනිත්තු 1:55.99ක්.

තරගාවලියේ තවත් තරග ඉසව් කිහිපයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිත අතර එම ඉසව්වල තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<