පසුගිය දා නිමාව දුටු 11 වැනි ආසියානු 19න් පහළ වොලිබෝල් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව ද සහභාගී වූ අතර එහි දී ශ්‍රී ලංකාවට 9 වැනි ස්ථානයෙන් සෑහීමට පත් වන්නට සිදු විය.
නුවන් තාරකගේ නායකත්වයෙන් සහ චාමින්ද ලක්ෂ්මන් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා සංචිතය මියන්මාරය බලා පිටත් වූයේ කෙසේ හෝ ශ්‍රී ලංකා නාමයට ගෞරවයක් ගෙන ඒමේ අපේක්ෂාව පෙරදැරි කර ගෙන විය යුතුයි.
ආසියානුකරයේ රටවල් 12ක් සහභාගී වූ මෙම තරගාවලියට ශ්‍රී ලංකාව C කාණ්ඩයෙන් තරග වැඳුණු අතර ජපානය සහ තායිලන්තය එම කාණ්ඩයේ වූ අනෙකුත් රටවල් වේ.
ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් පාඩමක්
11 වන ආසියානු යොවුන් වොලිබෝල් ශූරතාවලියේ පළමු දිනය අද (28) යි. එහි දී ශ්‍රී ලංකාවට සහභාගී වූ පළමු තරගයෙන්ම තායිලන්තය හමුවේ වට 3-0ක් වශයෙන් අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට සිදුවිය.
ශ්‍රී ලංකාව මාර්තු 28 වැනි දා සිය ප්‍රථම තරගය ක්‍රීඩා කළේ තායිලන්තය සමඟිනි. මෙම තරගයේ දී තායිලන්තය ඉතාමත් දක්ෂ සහ සටන්කාමී ක්‍රීඩා විලාසයක් ශ්‍රී ලංකාවට එදිරිව දියත් කළ ඔවුන් ප්‍රථම වටය නිමා කළේ 25-10ක් ලෙස ශ්‍රී ලංකාව අසරණ කරමිනි. දෙවැනි වටයේ දීත් අභියෝගයක් නොවූ ශ්‍රී ලංකාවට එදිරිව 25-15ක් ලෙස ලකුණු පුවරුවක් ඔවුන් නිර්මාණය කළෝය. කෙසේ නමුත් තෙවැනි වටයේ දී කිසියම් සටන්කාමිත්වයක් ශ්‍රී ලංකාවෙන් දිස් වුවද ඒ වන විට අස්වයා පැන ගොස් හමාරය. ඒ අනුව 3-0ක් ලෙස ශ්‍රී ලංකාව තායිලන්තය හමුවේ පරාජයට පත් විය.
පරාජයේ අමිහිරි අත්දැකීම් ද සමඟින් ශ්‍රී ලංකාව ඊට පසු දා (29) තරග වැදුණේ ප්‍රබල කණ්ඩායමක් වූ ජපානය සමඟිනි. ජපාන ක්‍රීඩකයින් හමුවේ යම් කිසි ආවේගශීලී ක්‍රීඩා රටාවක් දියත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම තායිලන්තය සමඟ පැවති තරගයෙන් යමක් උගත් බව නම් පැහැදිලි විය. ප්‍රථම වටය 25-14ක් ලෙස නිමා වුව ද දෙවැනි වටය 25-21ක් ලෙස නිමා වූයේ තරමක ක්‍රීඩාශීලි බවකිනි. තෙවැනි වටය නිමා වූයේ 25-17ක් වශයෙනි. ඒ අනුව එම තරගයත් 3-0ක් ලෙස නිමා වූයේ ශ්‍රී ලංකාවට පරාජය උරුම කර දෙමිනි.
ලක් යෞවනයන්ගෙන් ප්‍රබල ජපානයට සටනක්
ඊයේ (28) ඇරඹි ආසියානු යොවුන් වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද (29) පැවතියේ ප්‍රබල ජපාන කණ්ඩායමට එරෙහිවයි. එහි දී වට 3-0ක් ලෙස ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම…
ශ්‍රී ලංකා පුහුණුකරු නම් මෙම තරගය ගැන දරන්නේ ධනාත්මක මතයක්.
“ඇත්තටම කුඩා කාලයක් ඇතුළත මේ වගේ සංචිතයක් පුහුණු කරගෙන මෙම තරගාවලියට සහභාගී වීම අසීරු කාර්යයක් වුනා. වොලිබෝල් කැලැන්ඩරයේ මුකුත්ම තිබුනෙත් නැති නිසා ළමයින් හිටියේ කිසිම දෙයක් මතක නැතුව. ඉතිං එවැනි සංචිතයක් මේ වගේ කෙටි කාලයක් ඇතුළත පුහුණු කරලා ජපානය සමඟින් 25-21ක් ලෙස ප්‍රබල සටනක් ලබා දීලා පරාජය වීම මා දකින්නේ විශාල ජයග්‍රහණයක් විදිහට.”
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ හොං කොං රාජ්‍ය අතර පැවති තරගයකින් ශ්‍රී ලංකාව 3-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය. එම තරගයේ දී හොං කොං ක්‍රීඩකයෝ 25-23ක් ලෙස ප්‍රථම වටය ජයග්‍රහණය කිරීමට සමත් වූ නමුත් අනෙක් වට තුනම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ 22-25, 20-25, 20-25ක් ලෙසයි.
මේ සියල්ල මෙසේ අවසන් වන විට සුපිරි 8 දෙනා අතරට පිවිසීමේ සිහිනය ශ්‍රී ලංකාවට සිහිනයක්ම පමණක් විය. ඉන්පසුව පැවතියේ 9, 10 සහ 11 වැනි ස්ථාන සඳහා වන තරගයි.
එම තරග වල දී බංග්ලාදේශය තරග වට 3-2ක් ලෙස (25-14, 18-25, 16-25, 25-23, 15-11) හොං කොං දේශය පරාජය කරමින්, 9 වැනි ස්ථානය සඳහා වන තරගයට ශ්‍රී ලංකාව සමඟින් තරග කිරීමට අපේක්ෂාවෙන් පසු වුවද, ශ්‍රී ලංකාවට නිතරගයෙන්ම 9 වැනි ස්ථානය හිමි වූයේ බංග්ලාදේශය තරගය අත හැර යෑම නිසාවෙනි.
ඉතිහාසයේ දක්ෂතා
ශ්‍රී ලංකාව සහ මෙම තරගාවලිය අතර ඇති ඉතිහාසය 2007 වර්ෂය තරම් ඈතට විහිදී යන අතර ප්‍රථම තරගාවලියෙන් ශ්‍රී ලංකාවට හිමි වූයේ 10 වැනි ස්ථානයයි. ඉන්පසුව 2008 වර්ෂයේ දී ශ්‍රී ලංකාව 7 වැනියා ලෙසින් තරගාවලිය නිමා කරන අතර 2010 වර්ෂයේ දී නැවතත් ශ්‍රී ලංකාව තරගාවලිය නිමා කරන්නේ 8 වැනි ස්ථානය දක්වා පහත වැටෙමිනි. ඉන් අනතුරුව 2012 සහ 2014 වර්ෂ වල දී ශ්‍රී ලංකාව කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් 6 වැනි සහ 5 වැනි ස්ථානය දක්වා උසස් වීම් ලබා ගැනීමට සමත් විය. නමුත් මේ වර්ෂයේ දී ශ්‍රී ලංකාව තරගාවලිය නිමා කළේ 9 වැනි ස්ථානය දක්වා පහත වැටෙමිනි.
ශ්‍රී ලංකාවට ප්‍රථම තරගයේ දී මුණ ගැසුණු තායිලන්ත කණ්ඩායම තරගාවලිය තුළ දී එතරම් සාර්ථකත්වයක් මින් පෙර වාර්තා නොකළ රටකි. තරගාවලි ඉතිහාසය දෙස බැලීමේ දී තායිලන්තය වසර 9ක් තිස්සේ මෙම ශූරතාවය සඳහා සහභාගී වන අතර ඔවුන් අවසන් වරට සහභාගී වූ තරගාවලියෙන් උරුම කර ගත්තේ 8 වැනි ස්ථානයයි. ඔවුන් අවසන් වරට පැවති තරගාවලිය පවා නියෝජනය කළේ ද නැත. නමුත් ඔවුන් ලබා ගෙන ඇති සාර්ථකත්වය විශිෂ්ටය. සමස්ත තරගාවලියේ 6 වැනි ස්ථානය දක්වා ඉහළට එන්නට ඔවුන් මෙවර සමත් විය.
එසේම දකුණු කොරියාව මෙවර අත්කරගෙන තිබෙන සාර්ථකත්වය ද සාකච්ඡා කළ යුතුම වේ. තරගාවලිය ආරම්භක වර්ෂයේ සිටම ඔවුන් සහභාගී වන අතර මුල් කාලයේ ප්‍රථම, දෙවන ස්ථාන වල සිටියත් මෑත කාලීන දක්ෂතා අතින් ඔවුන් සිටියේ තරමක් පිටුපසිනි. 2014 වර්ෂයේ දී 6 වැනි ස්ථානයේ සිටි ඔවුන් මේ වසරේ දී දෙවැනි ස්ථානය දක්වා පැමිණීම සුවිශේෂී වේ. අවසන් තරගයේ දී ජපානය වැනි ප්‍රබල කණ්ඩායමක් හමුවේ ඔවුන් පරාජය වුවත් ඔවුන් අනුශූරයින් ලෙස ගෞරවයෙන් යුත්ව තරගාවලිය නිමා කළෝය.
තවද මෙම තරගාවලියට ප්‍රථම වරට සහභාගී වූ මියන්මාරය සුපිරි 8 දෙනා දක්වාම ක්‍රීඩා කිරීමට සමත් වීමත් විශේෂ කරුණකි.
නමුත් ශ්‍රී ලංකාවට සිදුවූයේ සිටි තැනින් තවත් පහතට වැටීමටය.
වර්තමානය
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස සැලකෙන වොලිබෝල් ක්‍රීඩාවට මෙවැනි ආකාරයේ පසු බැස්මකට, එසේත් නැතහොත් පරාජයකට ලක්වූයේ මන්ද යන්න විමසා බැලිය යුතු කරුණකි. සම්මේලනය මඟින් වොලිබෝල් ක්‍රීඩාව දියුණු කිරීමට සැරසෙන වකවානුවක දී මෙවැනි පරාජයක් උරුම වීම සම්බන්ධයෙන් ThePapare.com අප ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතාගෙන් විමසුවෙමු.
“ඇත්තටම අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා ළමයින්ව පුහුණුවීම් සඳහා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන්. මොකද අධ්‍යාපන අමාත්‍යාංශයේ තිබෙන නව නීතිරීති සහ රෙගුලාසි වලට අනුව ළමයෙක් පුහුණුවීම් සඳහා දීර්ඝ කාලයක් ලබා ගැනීමට අපහසුයි. ඉතිං ඒක විසඳ ගන්න අවසානයේ අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් දක්වාම යන්න සිදුවුනා. කෙසේ නමුත් අවසානයේ දී ඔවුන් එකඟ වුනා මාස 6ක කාලයක් දක්වා පුහුණුවීම් කාලයකට ළමයින්ව නිදහස් කරන්න.”
තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ළමුන්ට හොඳ පුහුණුවකට අමතරව සහභාගී වීම සඳහා හොඳ තරගාවලීන් ද නොමැති වීම ද මීට බලපෑ බවයි.
“ඇත්තටම මෙම තරගාවලිය යෙදුණේ වොලිබෝල් කැලැන්ඩරයේ මොකුත් නැති කාලයක. ඒකත් ක්‍රීඩකයින්ගේ නියම දක්ෂතා විදහා දැක්වීමට බාධාවක් වුනා. මොකද එහෙම තරගාවලි එකක් හෝ දෙකක් තිබුණා නම් ඔවුන් තවත් ක්‍රීඩකයෝ එක්ක කරට කර ක්‍රීඩා කරලා තවත් හොඳින් සූදානම් වෙන්න හැකියාව තිබුණා.”
“ඒවගේම අපිට මුලින්ම සෙල්ලම් කරන්න හමුවුනේ ප්‍රබල කණ්ඩායම් දෙකක්. ජපානය, තායිලන්තය හමුවේ පැවති තරග දෙකම පරාජය වීම ශ්‍රී ලංකාවේ ගමන අඩාල කරන්න විශාල ලෙස බලපෑවා.”
මීළඟ තරගාවලිය සඳහා අප කුමන ආකාරයකින් සුදානම් විය යුතු දැයි අප එතුමන්ගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ මෙවැන්නක්.
“සැබැවින්ම අපි දක්ෂතා දක්වන ක්‍රීඩකයෝ හඳුනා ගෙන තබා ගත යුතුයි. දක්ෂ ක්‍රීඩකයින් හඳුනා ගෙන ඔවුන්ට තවත් පුහුණුව ලබා දීමෙන් ඔවුන්ව තවත් වර්ධනය කර යුතුයි. ඒ විදිහට ක්‍රීඩකයෝ හඳුනා ගෙන තබා ගැනීම තුළින් අපට ඉතා ඉක්මනින් සංචිතයක් තෝරා ගෙන එම තරගාවලිය සඳහා යවන්න පුළුවන්. මේ තරගාවලිය සඳහා අපට තිබුණේ ඉතාමත් සුළු කාලයක්. ඉතිං ඒ කාල සීමාව ඇතුළෙ දී ක්‍රීඩකයෝ තෝරා ගෙන ඔවුන්ව නැවතත් පුහුණු කරලා තරගය සඳහා යොමු කිරීම සැබැවින්ම අසීරු කටයුත්තක් වුනා.”
කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ චාමින්ද මහතා සහභාගී වුන සංචිතයේ සංයුතිය ගැන අදහස් දක්වමින් පවසා සිටියේ සංචිතයට තවත් දක්ෂ ක්‍රීඩකයින් දෙන්නෙක්, තුන්දෙනෙක් එකතු වුනා නම් අවසන් ප්‍රතිඵලය තවත් වෙනස් වෙන්න තිබුණු බවයි.
මීළඟ තරගාවලිය සඳහා අප කුමන අයුරකින් සූදානම් විය යුතු දැයි අපි ඔහුගෙන් ද විමසුවෙමු.
“ඇත්තටම සම්මේලනයට හෝ කාටවත් දොස් කියන්න බැහැ. දවස් 48ක් වැනි කුඩා කාලයකින් මෙවැනි තරගාවලියකට සහභාගී වෙලා ජයග්‍රහණයක් ගේනවා කියන එක අමාරු දෙයක්. අවසන් වරට පැවති තරගාවලියේ දී 5 වැනි ස්ථානය දිනා ගත්තේ ක්‍රීඩකයෝ මනා සූදානමකින් පසු වූ නිසා, ඒ සංචිතයේ ක්‍රීඩකයෝ ගොඩක් DSI තරගාවලිය සහ තවත් තරග සංචාර සඳහා සහභාගී වෙලා හොඳට පදම් වෙලයි හිටියේ. ඉතිං මම කියන්නේ අපි නිසියාකාරව ක්‍රීඩකයෝ හඳුනා ගෙන ඔවුන්ට දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා දීම හරහා ජයග්‍රහණ අත් කර ගැනීම අසීරු දෙයක් නොවන බවයි.”
සැබැවින්ම සිදු විය යුත්තේ ද එය යි. ක්ෂණික නූඩ්ල්ස් මෙන් ක්‍රීඩකයෝ තෝරා පුහුණුව දී තරග සඳහා යොමු කිරීම කිසිසේත් ප්‍රායෝගික නොවන්නේය. එහෙයින් සම්මේලනය සහ පුහුණුකරු දකිනා දූරදර්ශී ක්‍රියා පටිපාටිය ඒ අයුරින්ම ක්‍රියාවට නැංවිය යුත්තකි. තවද සිහිකැඳවිය යුත්තක් ඇත. එය නම් වොලිබෝල් යනු ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව යන්නයි.
තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න