වාර්තා 17ක් සමඟ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය අවසන්

63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

316

දින හතරක් පුරාවට දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති 63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය අද (10) නිමාවට පත් වුනේ නව තරගාවලි වාර්තා දාහතක් බිඳ වැටෙමිනුයි.

තරගාවලියේ අවසන් දිනය වූ අද දිනය පුරාවට වර්ෂාවෙන් බාධා එල්ල වූවත් තරගාවලිය සැලසුම් කළ පරිදි අවසන් කිරීමට හැකි වූ අතර දිනය තුල තරගාවලි වාර්තා හතරක් බිඳ වැටුණා.

වර්ෂාව සමඟ පැවති වයස අවුරුදු 20න් පහළ බාලක තුන් පිම්ම ඉසව්වේ මීටර් 15.89ක දස්කමක් පෙන්නුම් කළ මලිත් යසිරු එම ඉසව්වේ තරගාවලි වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.

බාලිකා 16න් පහළ මීටර් 100 ඉසව්ව සඳහා සහභාගී වූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ධනංජනා ප්‍රනාන්දු තත්පර 12.58ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ තරගාවලි වාර්තාව බිඳ හෙළුවා.

23න් පහළ බාලක මීටර් 400 ඉසව්වට සහභාගී වූ යුද හමුදා ක්‍රීඩක ආර්. මදුශාන් තත්පර 47.06ක කාලයක් වාර්තා කරමින් නව වාර්තාවක් තබද්දී, 18න් පහළ මිටිය විසි කිරීම ඉසව්වේ මීටර් 35.19ක කාලයක් වාර්තා කරමින් නව වාර්තාවක් පිහිටුවීමට Vimalathas Nitharshan සමත් වුනා.

>> තරගාවලියේ පිහිට වූ නව වාර්තා <<

දිනයේ වැඩි අවධානයක් දිනා ගත් මීටර් 100 ඉසව්වේ 18න් පහළ තරගය තත්පර 12.71ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට ලයිසියම් විද්‍යාලයේ බ්‍රියානි අනුජනාට හැකි වූ අතර කොළඹ ගේට්වේ විද්‍යාලයේ දිනාරා දෑල බණ්ඩාර 12න් පහළ තරගය ජයග්‍රහණය කළේ තත්පර 12.15ක කාලයක් වාර්තා කරමිනුයි.

බාලක මීටර් 100 ඉසව්වේ 16න් පහළ තරගය ගාල්ල නින්දන මහා විද්‍යාලයේ ශිහාන් නදීෂන (තත්පර 11.37) විසින් ජයග්‍රහණය කරද්දී, එහි 18න් පහළ තරගයේ ජය වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ සිනේශ් මාරියෝ (තත්පර 11.32) විසින් දිනා ගත්තා.

20න් පහළ බාලක ඉසව්වේ ජය තත්පර 10.79ක කාලයකින් අවසන් කළ ආනන්ද විද්‍යාලයේ මෙරෝන් විජේසිංහ විසින් දිනා ගත් අතර තත්පර 10.79ක කාලයකින් ඉසව්ව අවසන් කළ චලිත පියුමාල් 23න් පහළ තරගය ජයග්‍රහණය කළා.

>> තරගාවලියේ සමස්ත ප්‍රතිඵල සටහන<< 

තරගාවලිය පුරාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් සලකා බලා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට ලබා දෙන සම්මානය මෙවර දිනා ගත්තේ තුන් පිම්ම ඉසව්වෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩක මලිත් යසිරු විසිනුයි.

>>තරගාවලියේ කුසලාන හිමි වූ ආකාරය <<

දේශීය සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<