අවසන් දිනයේ ශ්‍රී ලංකාවට තවත් පදක්කම් තුනක්

21st Asian Junior Athletic Championship 2024

64

21 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතවලියේ සිව් වැනි සහ අවසන් දිනයේ දී තවත් පදක්කම් තුනක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම විසින් සමත් වුනා. 

ඊයේ දිනයේ පළමුව තරග බිමට පිවිසුණු දෙනෙත් අනුහස් සහ තරුෂ මෙන්ඩිස් දෙදෙනා විසින් පිරිමි උස පැනීමේ ඉසව්ව නියෝජනය කළ අතර, මෙහි දී ඔවුන් දෙදෙනා ම මීටර් 2.06ක උසක් තරණය කිරීමට සමත් වුනා. 

නමුත් ඔවුන්ට එය පදක්කමක් වෙත යාමට ප්‍රමාණවත් නොවූ අතර, ඔවුන් දෙදෙනාට ඉසව්වේ සිව් වැනි සහ පස් වැනි ස්ථාන හිමි වුනා. 

කෙසේ වෙතත් මින් පසුව පිරිමි මීටර් 100×4 ඉසව්ව ආරම්භ වූ අතර මෙහි දී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් නව කනිෂ්ඨ ජාතික වාර්තාවක් ද බිහි කරමින් එහි දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා. 

මේ අතර ශූරතාවලියේ අවසන් ඉසව් ද්විත්වය ලෙස කාන්තා සහ පිරිමි මීටර් 400×4 තරග ආරම්භ වූ අතර, මෙම ඉසව් දෙකේ දී ම ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් ද්විත්වයක් හිමි වීම විශේෂත්වයක්. 

ඒ අනුව 21 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් ද්විත්වයක් සහ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් සමඟින් සමස්ත පදක්කම් පහක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. 

එමෙන්ම අතීතයේ පටන් ම ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළින් ම වැජඹුණු සහය දිවීමේ ඉසව්වලින් මෙම බහුතර පදක්කම් ජයග්‍රහණය කිරීමට හැකි වීමත් විශේෂත්වයක්. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අත පෙවිය හැකි මානයේ තිබූ තවත් පදක්කම් කිහිපයක් ම අවාසනාවන්ත ලෙස ගිලිහී ගිය බව ද මෙහි දී සඳහන් කළ යුතුයි. නමුත් ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක/ක්‍රීඩිකාවන් විසින් මෙම තරගාවලිය තුළ පෙන්වූ විශේෂ දක්ෂතා සහ ලබා දුන් මතු බලාපොරොත්තු වෙනුවෙන් ඔවුනට ස්තුතිය පුද කළ යුතුමයි. 

දේශීය මලල ක්‍රීඩාවේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<