ශ්‍රී ලංකාව දිනුවේ අපේ ලෝක කුසලානයයි!

27697

කර්ට්ලි ඇම්බ්‍රෝස් කියන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහි වූ දැවැන්තම චරිතයක්. හැබැයි කොදෙව් කලාපයෙන් ආ අනෙක් සමහර දැවැන්තයින් වගේ ඇම්බ්‍රෝස් ගේ නමට ඉස්සරහින් පෙන්නන්න ලෝක කුසලානයක් නැහැ.  

ඇම්බ්‍රෝස් ඒ ගැන මෙහෙම කතාවක් කියනවා. 

මගේ ක්‍රිකට් ජීවිතයේ ලොකුම කනගාටුව තමයි ලෝක කුසලානයක් දිනාගන්න බැරිවෙච්ච එක. 

මම සෙල්ලම් කරපු 1992, 1996, 1999 ලෝක කුසලාන තුනෙන් අපිට දිනන්න වැඩිම අවස්ථාවක් තිබුණේ අනූහයේ කියලා මම හිතන්නේ. එදා මොහාලි කඩයිම පැන්නා නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායම දුන්නට වඩා ගේමක් අපි ශ්‍රී ලංකාවට දෙනවා.” 

ඇම්බ්‍රෝස් එහෙම කියන්නේ 1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය කරලා අවසන් මහා තරගයට යන්න කොදෙව්වන්ට විශාල අවස්ථාවක් තිබුණ නිසා. නමුත් මොකක්දෝ අහේතුවකට එහෙම වුනේ නැහැ. තරගය සම්පූර්ණයෙන්ම පාලනය කරගෙන හිටපු කොදෙව්වන්ට අන්තිම කඩඉම පැනගන්න බැරි වුනා. 

ලෝක කුසලානයට සූදානම් වෙන තැන ඉඳලාම අපිට ප්‍රශ්න තිබුණා. අපේ හිටපු සුපිරිතම පිතිකරුවා බ්‍රයන් ලාරා පෞද්ගලික හේතූන් මත ලෝක කුසලානයට කලින් ඕස්ට්‍රේලියාවේ තිබුණ බෙන්සන් සහ හෙජස් තුන්කොන් තරගාවලියෙන් අයින් වුනා. ඔබට පිතිකරුවෙක් හොයාගන්න පුළුවන්. ඒත් ලාරා වර්ගයේ උසස් පිතිකරුවෙක් සෙවීම නිෂ්ඵල කටයුත්තක්. අපේ වාසනාවට ලාරා ලෝක කුසලානය කිට්ටු වෙද්දී කණ්ඩායමට එකතු වුනා. 

1996 ලෝක කුසලානය ආරම්භ වෙන්න මාසයට වගේ කලින් කාල් හූපර් අයින් වෙන්නේ. හූපර් කියන්නේ දඟපන්දු යවන්නන්ට හොඳින්ම මුහුණ දුන් ක්‍රීඩකයෙක්. අනිවාර්යයෙන්ම හූපර් නැති එක ලොකු පාඩුවක් වුනා අපිට. පිතිකරණය පැත්තෙන් නෙවෙයි දඟපන්දු යවන්නෙක් විදියටත්. 

හූපර්ගෙන් හිස්වන තැනට අපිට ඕන කළේ ෆිල් සීමන්ස්. හැබැයි තේරීම් කමිටුව අපිට ලබා දුන්නේ කැම්රන් කෆී. මට අදටත් හිතාගන්න බෑ ඔවුන් ඇයි එහෙම තීරණයක් ගත්තේ කියලා. 

සිම්බාබ්වේ තරගය අපි ජය ගත්තා. ඒත් එක්කම ඉන්දියාව සහ කෙන්යාව එක්ක මැච් දෙක අපි පැරදුණා. 

අපි ශ්‍රී ලංකාවට යන එක වර්ජනය කළා ආරක්ෂක හේතූන් මත. අවාසනාවකට ඒ තරගයේ ලකුණු ශ්‍රී ලංකාවට ලැබුණේ. 

කෙන්යානු තරගය මගේ ක්‍රිකට් ජීවිතයේ අමිහිරිම තරගයක්. අපි ඔවුන්ට එච්චර ලකුණු ගානක් ගහන්න දීපු එක වැරදියි. පැරදුණාට පස්සේ වෙන එක්ස්කියුසස් දීලා තේරුමකුත් නැහැ. 

දෙවරක් ලෝක කුසලානය දිනූ බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කළ කෝඩුකාර කෙන්යාව
දෙවරක් ලෝක කුසලානය දිනූ බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කළ කෝඩුකාර කෙන්යාව

තරගාවලියේ රැඳී ඉන්න නම් ඕස්ට්‍රේලියාව එක්ක තරගය ජය ගන්නම වෙලා තිබුණා. අපි ඔවුන්ව පහසුවෙන් පරාජය කළා. මුළු කණ්ඩායමම සෑහෙන කේන්තියෙන් හිටියේ කෙන්යාව එක්ක මැච් එක පැරදිච්ච නිසා. නායකත්වයේ වගකීම අරන් රිචී රිචර්ඩ්සන් නොදැවී ලකුණු 93ක් ගැහුවා.

ඊට පස්සේ තිබුණේ දකුණු අප්‍රිකානුවෝ එක්ක අර්ධ අවසාන පූර්ව තරගය. ඒ වෙද්දී දකුණු අප්‍රිකාව 96 ලෝක කුසලානයේ එකම තරගයක්වත් පැරදිලා තිබුණේ නැහැ. බ්‍රයන් ලාරා අති දක්ෂ ආකාරයෙන් ක්‍රීඩා කළා. ඔහු එදා ලකුණු 111ක් රැස් කළා. අපිට දකුණු අප්‍රිකානුවන් පරාජය කරන්න පුළුවන් වුනා ලේසියෙන්ම. 

අපිට කණ්ඩායමක් විදියට සෑහෙන විශ්වාසයක් දැනුණා. ලෝක කුසලානයට ආපු හොඳම කණ්ඩායම් දෙකක් අපි අතින් පරාජයට පත්වුනේ ඉතාම පහසුවෙන්. තව කඩයිම් දෙකයි. අපි සෑහෙන විශ්වාසයකින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ මොහාලිවල තියන අවසන් පූර්ව තරගයට ලෑස්ති වුනා. 

කණ්ඩායම් දෙකම සමබරයි. හැබැයි දින කිහිපයකට කලින් අපි ඕස්ට්‍රේලියානුවන් පරාජය කරපු නිසා අපේ පැත්තට වැඩි බරක් තිබුණා. 

මාක් ටේලර් කාසියේ වාසිය දිනලා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කළා. හැබැයි ඔහු ගත්ත තීරණය වැරදියි කියලා ඔප්පු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. 

ඕස්ට්‍රේලියාවේ ලකුණු පුවරුව එකවතාවක් සටහන් වුනේ 15/4 විදියට. මාක් වෝ, මාක් ටේලර්, රිකී පොන්ටිං සහ ස්ටීව් වෝ කියන වැඩකාරයෝ හතරදෙනාම අවුට්. බිශී (ඉයන් බිශොප්) මාත් එක්ක අනිත් පැත්තෙන් ලස්සන ස්පෙල් එකක් දැම්මා. 

අපේ කණ්ඩායමේ හිටපු හොඳම පන්දු රකින්නා වුන රොජර් හාපර්, ස්ටුවර්ට් ලෝ අතටම ආපු උඩපන්දුව අත නොහරියා නම් ඕස්ට්‍රේලියාව එදා ලකුණු 200ක් ගහන්නෙ නෑ. ඒකෙන් ප්‍රයෝජන ගත්ත ලෝ, මයිකල් බෙවන් එක්ක එකතු වෙලා ඕස්ට්‍රේලියාව දෙසීයෙන් උඩට ඇදලා දුන්නා. 

ඕස්ට්‍රේලියාව දීපු ටාගට් එක කිරි කජු වගේ සිම්පල් එකක් කියලා අපිට දැනුණේ. ඒක පන්නගෙන යන අපිට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. හැබැයි පැයක් ඇතුළත අපි කරපු මරි මෝඩ වැඩ නිසා අපිට ෆයිනල් යන්න බැරි වුනා. 

ශිව්නාරීන් චන්ද්‍රපොල් ලස්සනට බැට් කළා. ශිව් ලකුණු 80ක් ගැහුවා. අපි කවුරුත් නොහිතපු වෙලාවක ශිව් විකට් එක විසි කළා. ශිව් කියපු විදියට නම් මහන්සි නිසා සහ ක්‍රෑම්ප්ස් නිසා තමයි ලොකු පාරකට ගිහින් අවුට් වෙලා තියෙන්නේ. අවුරුදු විසිඑකක නොමේරු, නාඹර කොල්ලෙක් වැඩි දුර නොහිත කරපු හිතුවක්කාර වැඩක් විදියට ශිව්ට අපි සමාව දුන්නා.  

ඊට පස්සේ තමයි හොඳම හරිය සිද්ධ වුනේ. 

අපේ පුහුණුකරුවා විදියට කටයුතු කරපු ඇන්ඩි රොබර්ට්ස් නම් දරාපු පිතිකරුවෝ විදියට හිටපු ජීමී ඇඩම්ස්, කීත් ඇතර්ටන් දෙන්නට උඩින් රොජර් හාපර්, ඔටිස් ගිබ්සන් වගේ තුන් ඉරියව්වෝ දෙන්නෙක් බැට් කරන්න යැව්වා. මට අදටත් ඒක නම්  ප්‍රහේලිකාවක්. 

අපිට ඔක්කොම වැරදුණා. අපි ලකුණු 5කින් පැරදුණා. 

මට සෑහෙන දුක හිතුණේ රිචී ගැන. රිචී අන්තිම මොහොත වෙනකල් ෆයිට් කළා. මැච් එක ඉවර වෙලා ආපහු අපේ රටට යන්න බෑග් පැක් කරන අතරේ ඔහු මට කතා කළා. ඔහු ඉන්න තැනින් වාඩිවෙන්න කියල ඔහු මට අතින් සංඥා කළා. 

‘මට ක්‍රිකට් ඇති. මම අයින් වෙනවා. මට ටීම් එකේ කාගෙන්වත් ලොකු සපෝර්ට් එකක් ලැබෙන්නේ නෑ.’ රිචී කනගාටුවෙන් කිව්වා. 

ඒ වෙද්දීත් රිචී අස්වීමේ ලියුම බෝඩ් එකට යවලා තිබුණේ. රිචී සැරපරුෂ නායකයෙක් නෙවෙයි. ඒත් සද්ද නැතුව වැඩේ කරපු කෙනෙක්. පරාජිතයෙක් විදියට රිචීට ලෝක කුසලානය නිමා කරන්න ලැබීම තරම් දුකක් මට කවදාවත් දැනිලා නෑ.” 

ශ්‍රීමත් කර්ට්ලි ඇම්බ්‍රෝස්ගේ චරිතාපදානය ඇසුරෙන්.

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<