ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

21st Asian Junior Athletic Championship 2024

65
Asian junior athletic championship 2024

21 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතවලියේ තෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව තවත් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

තරගාවලියේ තෙවැනි දිනය වූ ඊයේ (26) මිශ්‍ර 400×4 ඉසව්වේ අවසන් මහා තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම මිනිත්තු 3.28.18ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර, මෙම ඉසව්වේ දී කිරුළු ගොන්සාලු, අවිශ්ක රාජපක්ෂ, ජිත්මා ශෙහාරි සහ නුහන්සා තක්ෂිමා ඉසව්ව නියෝජනය කළා.  

මේ අතර ඊයේ දිනයේ ම කාන්තා මීටර් 800 ඉසව්වේ අවසන් මහා තරගයට සහභාගී වූ තරුශි අභිෂේකා විසින් සිව් වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර, ඇයගේ තරඟ නිමි කාලය ලෙස මිනිත්තු 2.10.52ක් සටහන් වුනා. 

ඊයේ දිනයේ පැවැත්වුණු අවසන් තරග ඉසව්ව වූ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීමේ අවසන් තරගයට සහභාගී වූ අයෝමාල් අකලංක තත්පර 52.84ක කාලයක් සමඟ හය වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්. 

මේ අතර ඊයේ පැවැත්වුණු පිරිමි මීටර් 100 සහය දිවීමේ ඉසව්වේ මූලික වටයේ තරගයක දී තත්පර 40.32ක කාලයක් සමඟ දෙවැනි ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකාව එහි අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ගත්තා. මෙම තරග නිමි කාලය ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ වාර්තාව අලුත් කිරීමට ද සමත් වුනා. 

කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් රිදී පදක්කමක් ජයග්‍රහණය කළ නෙත්මිකා හේරත්, පසුගිය 25 වැනි දා කාන්තා දුර පැනීමේ ඉසව්වට ද සහභාගී වූ අතර, එහි දී මීටර් 5.78ක දක්ෂතාවක් දැක්වූ ඇයට හිමි වුනේ 8 වැනි ස්ථානයයි. 

එමෙන්ම ශ්‍රී ලංකා කෙටි දුර ධාවනයේ තවත් අනාගත බලාපොරොත්තුවක් ලෙස හඳුනාගත හැකි මෙරෝන් විජේසිංහ 25 වැනි දා පිරිමි මීටර් 100 අවසන් මහා තරගයට සහභාගී වූ අතර,  එහි දී ඔහු ලෝකඩ පදක්කමකට ඉතා ආසන්න වූ නමුත් අවසානයේ හිමි වුනේ පස් වැනි ස්ථානයි. 

කෙසේ වෙතත් ඔහුගේ තරග නිමි කාලය ලෙස සටහන් වූ තත්පර 10.538 මෙතෙක් ශ්‍රී ලංකා කනිෂ්ඨ ඉතිහාසයේ වාර්තා වූ තෙවැනි හොඳම තරග නිමි කාලය ලෙස ඉතිහාසගත වීම විශේෂත්වයක්. 

තරගාවලියේ සිව් වැනි සහ අවසන් දිනය අද (27) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

ශූරතාවලිය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින් 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<