උෂාන් තිවංකගෙන් ජයග්‍රාහී ආරම්භයක්

199

ඇමරිකාවේ පැවති Charlie Thomas Invitational ගෘහස්ථ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා තරගාවලියේ පිරිමි උස පැනීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

Texas හී A&M සරසවිය නියෝජනය කරමින් තරග වදින උෂාන් පෙරේරා මෙම තරගාවලියේ පිරිමි උස පැනීමේ අවසන් වටයේ දී මීටර් 2.20ක දස්කමක් දැක්වීමට සමත් වූ අතර එම දස්කම සමඟ නව facility වාර්තාවක් පිහිටුවීමට ද ඔහු සමත් වීම විශේෂත්වයක්.

එමෙන්ම මලල ක්‍රීඩකයින්ට සුවිශේෂී තරගාවලි රැසක් පැවැත්වෙන මෙම වසරේ තරග ආරම්භ කරමින් උෂාන් සහභාගී වූ පළමු තරගය මෙය වීම ද විශේෂත්වයක්.

ඇමරිකාවේ වාසය කරමින් මලල ක්‍රීඩාවේ නිරත වන උෂාන් තිවංක පෙරේරා පසුගිය වසර කිහිපයේ දී උස පැනීම ඉසව්වෙන් සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔහු උස පැනීම ගෘහස්ථ සහ එළිමහන් ජාතික වාර්තා ද්විත්වයම බිඳ හෙළීමට සමත් වුනා.

ශ්‍රී ලංකා වාර්තාවට අමතරව එළිමහන් උස පැනීම ඉසව්වේ මීටර් 2.30 (2021 වසරේ) දස්කමක් දක්වමින් එහි දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කීමට ද උෂාන් සමත්ව තිබෙනවා.

ඔහු පසුගිය වසරේ කිහිපයේ සිය ඉසව්වෙන් ලොව හොඳම දස්කම් දැක්වූ ක්‍රීඩකයින් අතර සිටි නමුත් යම් ගැටලු කිහිපයක් නිසා ඔහුට එම වසර වල පැවති ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගී වීමට හැකියාව ලැබුණේ නැහැ

නිමා වූ 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ පසුගිය වසරේ පැවති ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ඔහුගේ සහභාගීත්ව ශ්‍රී ලංකාවට අහිමි වූ අතර තවමත් ඉහළ දස්කම් අතර සිටින උෂාන් ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගී කර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<