අම්මාගේ බලාපොරොත්තුව ඉටු කළ Labuschagne ඕස්ට්‍රේලියාව ද බේරා ගනී!

South Africa vs Australia 2023

2563

2019 වසරේ දී ලෝක ටෙස්ට් ඉතිහාසයේ පළමු Concussion Substitute අවස්ථාව ලද ක්‍රීඩකයා බවට පත් වූ ඕස්ට්‍රේලියානු පිතිකරු Marnus Labuschagne විසින් ඊයේ (07) දිනයේ දී නැවතත් Concussion Substitute අවස්ථාව යටතේ විශිෂ්ට ඉනිමක් දියත් කිරීමට සමත් වුනා.

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ දිනයේ දී පැවැත්වුණු අතර මෙහි දී ඕස්ට්‍රේලියාව විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු තුනක විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට සමත් වුනා.

මෙහි දී දකුණු අප්‍රිකාව විසින් පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 222ක් ලබා ගැනීමට සමත් වුනා. පිතිකරණයේ යෙදීමට තරමක් අසීරු තණතිල්ලක සියලු පිතිකරුවන් අසරණ වෙද්දී, අප්‍රිකානු නායක Temba Bavuma විසින් ලබා ගත් විශිෂ්ට ශතකය (114) නිසා දකුණු අප්‍රිකාව විසින් මෙම ඉලක්කය ඕස්ට්‍රේලියාව වෙත ලබා දීමට සමත් වුනා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම දියත් කිරීම වෙනුවෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ද පහසුවෙන් මෙම ඉලක්කය හඹා යෑමට හැකියාව ලැබුණේ නැහැ. සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ පළමු වරට අංක හතර පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට වරම් ලද Cameron Green හට ඕස්ට්‍රේලියානු ඉනිමේ පස්වැනි පන්දුවාරයේ දී ම පිටියට පිවිසීමට සිදු වුනේ ඔවුන්ගේ ආරම්භය අසාර්ථක වීම නිසායි.

කෙසේ වෙතත් Greenට මුහුණ දීමට හැකියාව ලැබුණේ පන්දු දෙකකට පමණයි. kagiso Rabada විසින් යොමු කළ පන්දුවක් Greenගේ වම් කණ පිටුපස වැදීම නිසා ඔහුට පිටියෙන් ඉවත් වීමට (Retired Hurt) සිදු වුනා. එමෙන්ම තවත් පන්දුවාරයකට පසුව වාර්තා වුනේ Green මෙම තරගය ක්‍රීඩා නොකරනු ඇති බව සහ ඔහු වෙනුවෙන් Marnus Labuschagneව Concussion Substitute ක්‍රීඩකයා ලෙස ආදේශ කරනු ඇති බවයි.

2019 අළුබඳුන තරගාවලිය අතරතුර Steve Smith වෙනුවට Concussion Substitute ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබමින් ටෙස්ට් තරගයක එවැනි ආදේශයක් වෙනුවෙන් දායක වූ පළමු ක්‍රීඩකයා බවට පත් වීමට සහ ඉතා සාර්ථකව Smith වෙනුවට පිතිකරණයේ යෙදීමට ද Labuschagne සමත් වුනා. 2019 දී මෙන්ම ඊයේ දිනයේත් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් Labuschagne විසින් ඕස්ට්‍රේලියාව නොතිබූ ජයග්‍රහණයක් කරා රැගෙන ගියා.

ලකුණු 72කට ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 5ක් බිඳ වැටී තිබූ අවස්ථාවේ පිටියට පිවිසුණු Labuschagne විසින් පන්දු 93කින් නොදැවුණු ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වුනා.

එමෙන්ම ඔහු සහ Ashton Agar විසින් ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 112ක නොදැවුණු සබඳතාවක් පිහිටුවීමට සමත් වීම ද විශේෂත්වයක්.

නමුත් මෙහි වඩාත් ම විශේෂ සිදුවීම වන්නේ ඊයේ ඕස්ට්‍රේලියාවේ ගැලවුම්කරු වූ Labuschagne මීට දින කිහිපයකට පෙර ඕස්ට්‍රේලියානු සංචිතයට හෝ ඇතුළත් ව නොතිබීමයි.

පසුගිය කාලය පුරාවට එක්දින තරගවල දැක්වූ අසාර්ථක පිතිකරණ රටාව නිසා දකුණු අප්‍රිකාව සමඟ තරගාවලියට සහ එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ ඕස්ට්‍රේලියානු සංචිතයට Labuschagneගේ නම ඇතුළත් වුනේ නැහැ.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව සමඟ තරගාවලියට සහභාගී වීමට නියමිත ව සිටි Steve Smithට ඇති වූ ආබාධයක් නිසා ඔහු වෙනුවට Labuschagneගේ නම සංචිතයට ඇතුළත් කෙරුණා.

“මම පසුගිය තරග ක්‍රීඩා කළ ආකාරය ගැන සෑහෙන්න කලකිරීමෙන් සිටියේ.

මම සංචිතයෙන් ඉවත් කිරීම ගැන මම පුදුම වුනේ නැහැ. මම තේරීම් කමිටුවට කිව්වා ‘මට තේරෙනවා මම ලකුණු ලබාගත්තේ නැහැ’ කියලා.”

නමුත් තමන් ඉදිරියටත් අවස්ථාවක් ලැබුණු වහාම සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට බලා සිටින බව තේරීම් කමිටුවට පැවසූ බව Labuschagne විසින් සඳහන් කර තිබුණා. ඔහු කී ලෙස ම අවස්ථාව ඔහු සොයා පැමිණි අතර නැවත සංචිතයට එක් වීමට අවස්ථාව ලැබුණා.

මේ අතර ඊයේ පැවැත්වුණු තරගය නැරඹීමට Labuschagneගේ මව ද ක්‍රීඩාංගණයට පැමිණ තිබුනත්, Labuschagneගේ නම මුල් ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතරට එක් වී තිබුණේ නැහැ.

“ඇය පුදුමාකාර කාන්තාවක්. මම තරගයේ පළමු පැය තුන හමාරක කාලයේ ක්‍රීඩා නොකළත් ඇය සම්පූර්ණ තරගය වෙනුවෙන් ම නතර වෙලා හිටියා.

මම මේ තරගය ක්‍රීඩා කරනවා කියන හැඟීම ඇයට තිබුණා. මම ඇයට කිව්වා ‘මම කණ්ඩායම දැක්කා අම්මේ, මම ඒ කණ්ඩායමේ නැහැ’ කියලා.

නැවත වරක් ඇයට ඒ හැඟීම ආවා. ඇය නිවැරදියි. ඇත්තටම එය විස්තර කරන්න අපහසුයි.”

ඊයේ තරගයෙන් අනතුරුව සිය මව තමා වෙනුවෙන් බලා හිඳි ආකාරය Labuschagne විසින් එසේ විස්තර කර තිබුණා.

Labuschagneගේ මව විශ්වාස කළ පරිදි ම අවසානයේ ඔහුට නැවතත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවකාශය හිමි වුනා.

මේ අතර ඊයේ ආබාධයට ලක් වූ Cameron Green හට අවම වශයෙන් දින අටක කාලයක් ක්‍රීඩාවෙන් ඈත් ව සිටීමට සිදු වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ වන විට Green සහ Smithට අමතරව Mitchell Starc, Glenn Maxwell සහ Pat Cummins යන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ද ආබාධ වලට ලක් වී සිටින අතර ලෝක කුසලානය වන විට බොහෝ විට ඔවුන් නැවත සුවය ලබා ගනු ඇති බවට බලාපොරොත්තු වනවා.

කෙසේ වෙතත් මෙම ආබාධ තත්ව නිසා සහ ඊයේ දිනයේ Labuschagne විසින් දියත් කළ ඉනිමත්, ඉදිරි තරගවලට (දකුණු අප්‍රිකාව සමඟ) ඔහුට අවස්ථාවක් හිමි වීම මතත් ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයේ යම් වෙනස්කමක් සිදු වේ ද යන්නත් මේ වන විට කතාබහට ලක් වෙමින් තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<