මෙවර IPL සඳහා තරග 60ක්; ක්‍රීඩාංගණ 3ක්!

645
 

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා තරග 60ක් ඇතුළත් වන අතර ඒ සඳහා ක්‍රීඩාංගණය තුනක් සූදානමින් තිබේ.

2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා තරග 48ක් ඇතුළත් වූ අතර ඒ සඳහා එක්සත් රාජධානියේ ක්‍රීඩාංගණය 11ක් වෙන්කර තිබුණි. 2016 වසරේ පැවති ලෝක විස්සයි විස්ස තරගාවලියට තරග 35ක් ඇතුළත් වූ අතර ඒ සඳහා ක්‍රීඩාංගණ 7ක් යොදාගෙන තිබුණි. 

මෙම දත්ත සමඟින් විමසා බැලීමේ දී මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 60ක් ක්‍රීඩාංගණය 3කට දරා ගත හැකි වේ දැයි බොහෝ දෙනා විමසා තිබේ.

IPL කණ්ඩායම් හිමිකරුවන්ගේ ගැටලුවට BCCIයෙන් උත්තර

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය සතියේ දී නිල වශයෙන් නිවේදනය කළේය. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දින 53ක් තුල තරග 60ක් පවත්වන පළමු අවස්ථාව මෙය වේ.

මීට පෙර පූර්ණ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක් ඉන්දියාවෙන් පිටත දී පැවැත්වූයේ 2009 වසරේ දී ය. දකුණු අප්‍රිකාවේ දී පැවති එම තරගාවලිය සඳහා ක්‍රීඩාංගණ 8ක් යොදාගෙන තිබුණි. 

2014 වසරේ දී ඩුබායි, අබුඩාබි සහ සාජා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයූවද ඔවුන් පවත්වා තිබුණේ තරග 20ක් පමණි. 

මෙම තරගාවලිය ඉන්දියාව තුල පවත්වන අවස්ථාවල දී ඒ සඳහා එක් එක් කණ්ඩායම්වල ක්‍රීඩාංගණ 8ක් යොදා ගන්නා අතර ඉන් පරිබාහිර ක්‍රීඩාංගණ ද යොදාගන්නා අවස්ථා ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තරග ඉසව්වල දී එක් ක්‍රීඩාංගණයක පවත්වන තරග ප්‍රමාණය ඉතාමත් අඩු සංඛ්‍යාවකි.  

මෙම වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙවතාවක්ම කල්දැමීමට සිදු විය. ඉන් අනතුරුව එරට පවතින තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙවර තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යාමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය දා තීරණය කළේය.

කෙසේ වෙතත් මෙම තරගාවලිය සඳහා අවසර ලබා දීමේ දී දැඩි කොන්දේසි පනවා ඇති අතර තරගාවලිය සඳහා රජයේ අවසරයන් ලබා ගැනීම සහ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (Standard operating procedures) සකස් කිරීම කෙරෙහි ඉන්දීය ක්‍රිකට් ආයතනය වැඩි අවධානයක් යොමු කර තිබේ. මේ හේතුව නිසා ක්‍රීඩාංගණය පිළිබඳව අවධානයක් යොමු කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයට නොහැකි වී ඇති බව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායක කමිටුවට සම්බන්ධ නිලධාරියෙක් පවසා ඇත.

2014 වසරේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන විට එහි ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කළ පී. ආර්. විශ්වනාදන් මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ තරගාවලිය අතරතුර දී එය කතාබහට ලක්වන ස්ථානයක් වනු ඇති බවයි. 

“මේක තරග 60ක් විතරක් නෙමෙයි. අපි පුහුණුවීම් ගැනත් බලන්න ඕන. පුහුණු තරගවලටත් ක්‍රීඩාංගණ දෙන්න ඕනේ. ඒ හැමදේම බැලුවම තරග 70ක් වගේ ක්‍රීඩා කරන්න වෙනවා. ඒක ලොකු ගාණක්.” 

“ඒ වගේම අපි දන්නවා එක්සත් අරාබි එමීර් වල කාලගුණය ඉතා කටුකයි. පසෙහි දූවිලි අන්තර්ගය ගොඩක් වැඩියි. ඒ හින්දා දැඩි තණතීරු හදන්න අමාරුයි. මේ තරගාවලියේ දී ලකුණු 200 පසුකරන තරග දකින්න නැති වේවි” විශ්වනාදන් තවදුරටත් පවසා සිටියේය. 

කෙසේ වෙතත් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යාමත් සමඟින් කණ්ඩායම්වලට ඔවුන්ගේ උපාය මාර්ග පිළිබඳව නැවත සිතා බැලිය යුතු තත්ත්වයක් උදාවී ඇත. වැදගත්ම දෙය නම් සියලු කණ්ඩායම්වලට ඔවුන්ගේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීමේ වාසිය අහිමි වීමයි.

LPL අදිමදි කරන හිටපු ඉන්දීය ක්‍රීඩකයා

“සෑම කණ්ඩායමක්ම ක්‍රීඩක වෙන්දේසිවල දී ඔවුන්ගේ ක්‍රීඩාංගණවල තත්වයන් මත පදනම්ව කණ්ඩායම් තෝරා ගන්නවා. එය වෙනස් වුනාම කණ්ඩායම තෝරාගැනීම අභියෝගාත්මක වෙනවා. ඉන්දියාවේ තරගාවලිය ක්‍රීඩා කරනවා නම් සෑම කණ්ඩායමක්ම ඔවුන්ට පුරුදු නැති තත්වයන් යටතේ ක්‍රීඩා හතක් ක්‍රීඩා කරනවා. ඒත් දැන් කණ්ඩායම් එවැනි තරග 14ක් ක්‍රීඩා කරන්න ඕනේ” කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජික අභිෂේක් නයාර් පැවසීය.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අඩු ලකුණු ලබාගන්නා තරගාවලියක් වනු ඇති බව බොහෝ දෙනාගේ මතයයි. නමුත් පසුගිය වසරේ අවසාන තරගය මෙන් සමාන අභියෝගයකට ඉඩ ලබා දෙන්නේ නම් එය එතරම් නරක දෙයක් නොවනු ඇත.

“එක්සත් අරාබි එමීර් වල තියන රස්නයත් සමඟ වෙනදා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසාන කාලයේ දී වගේ අඩු ලකුණු ලබා ගන්නා තරග ගොඩක් දකින්න තියේවි. විශේෂයෙන් තණතීරුව මන්දගාමී නිසා එය වේගවත් තණතීරුවක් කරන එක හෝ හෝ සමතලා තණතීරුවක් කරන එක ගොඩක් අමාරුයි” නයාර් තවදුරටත් පැවසීය.

2014 දී රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ අභිශේක් නයාර්ගේ අත්දැකීම්වලට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතීරු ස්වභාවය තරමක් අභියෝගාත්මකය. ඩුබායි ක්‍රීඩාංගණයේ තණතීරුව බොහෝ දුරට මන්දගාමී වේ. අබුඩාබි හි තණතීරුව වෙනස් විය හැකි අතර සාජා හි තණතීරුව අතිශයින් දැඩි සමතලා තණතීරුවකි. 

“සාජා ක්‍රීඩාංගණය ඊඩින් ක්‍රීඩාංගණයට ගොඩක් සමාන ක්‍රීඩාංගණයක්. ඒත් අපි කොල්කටා වල ලබා ගන්න දෝලනය සාජා වලදී ලබා ගන්න බැහැ. ඒ නිසා හැමෝටම පන්දු යැවීමේ වෙනස්කම් කරන්න වේවි” නයාර් පැවසීය.

පාකිස්තාන සුපර් ලීග් හි පුහුණුකරුවෙකු වන හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම විස්තර විචාරකයෙකු වන ඩීන් ජෝන්ස්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතීරුව පිළිබඳ තරමක් අත්දැකීම් තිබේ.

“සියලුම කණ්ඩායම් කෙරෙහි ඇති ප්‍රධානතම අභියෝග ගොඩක් තියනවා. ක්‍රීඩාංගණ තුනක මේ වගේ විශාල තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළාම ඒ තණතීරු වෙහෙසට පත්වෙනවා. ඒක ස්වාභාවික දෙයක්” ජෝන්ස් පැවසීය.

“තණතීරු වෙහෙස වුනාම වඩා හොඳින් පන්දුව දඟ කැවෙනවා. ඒ නිසා දඟපන්දු වලට ක්‍රීඩා කරන පිතිකරුවන්ට ඒ තත්ත්වය වාසිදායක වේවි. සමහර කණ්ඩායම් දඟපන්දු යවන්නන් 3ක් හා වේගපන්දු යවන්නන් දෙදෙනෙක් තෝරගන්න පෙළඹේවි. තරගාවලිය ආරම්භයේ දී ම තණතීරුව පිතිකරුවන්ට හොඳ වුනත් තරගාවලිය ඉදිරියට යන විට තණතීරු වෙහෙස වීමත් එක්ක පිතිකරුවන්ට ගොඩක් අමාරු වේවි.”

ඉන්දීය ක්‍රිකට් ආයතනයෙහි තණතීරු කමිටුවේ හිටපු ප්‍රධානී ඩල්ජිත් සිං පවසා සිටියේ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නිරීක්ෂකයින්ගේ කාර්යභාරය ප්‍රධාන වනු ඇති බවයි.

“මම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගියා. එහි තණතීරු හදන අය ගොඩක් වැරදි කරනවා. මම දැක්ක විශේෂ දෙයක් ඔවුන් උණුසුම් කාලගුණයක් තිබුනත් තණතීරු ගොඩක් තලනවා. තණතීරුවල සූදානම අධීක්ෂණය කරන්න අපගේ නියාමකයින් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ.” 

රෝහිත් ගැන රයිනාගෙන් අනාවැකියක්

මේ පිළිබඳව අදහස් දක්වමින් විශ්වනාදන් පවසා සිටියේ එහි නිරීක්ෂකයින් වැඩි ප්‍රමාණයක් සිටිය යුතු බවයි.

“තරගාවලිය ආරම්භ වුනාම ක්‍රීඩාංගණ අතර එහෙ මෙහෙ යන්න සිදුවුනොත් තණතීරු හරියට නිරීක්ෂණය කිරීම අමාරු වෙනවා. නිරීක්ෂකයින් කරන්න ඕනෙ සියලු වැඩ කටයුතු තියෙන්නේ තරග දිනයේ නෙමෙයි. තණතීරු වල තියන තණකොළ මරා දැමීමට බර රෝලර් භාවිතා කරන්න ඕනෙ නැහැ. ඒවා හරියට නිරීක්ෂණය කරන්න ඕනේ. මේ නිරීක්ෂකයින්ට මානව කළමනාකරණය ගැන කුසලතා ගොඩක් අවශ්‍ය වේවි” විශ්වනාදන් පවසා සිටියේය. 

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 19 වැනිදා සිට නොවැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<