අවිශ්කගෙන් 6 වරුසාවක්; Western සහ Southernට ජය

යුද හමුදා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2020

2706

යුද හමුදා ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය ද අතිසාර්ථක ලෙස අද (7) ක්‍රියාත්මක වූ අතර එහි දී මෙල්බන් Western Warriors සහ ඩිමෝ Southern Warriors ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. තරගාවලිය පැවැත්වෙන්නේ කළුතර දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දීයි.

ප්‍රීමා Eastern Warriors සහ මෙල්බන් Western Warriors

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ප්‍රීමා Eastern Warriors පළමුව පන්දු රැකීම සඳහා තීරණය කළ අතර ඔවුන් මේ තරගය සඳහා අවතීර්ණ වූයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටිමිනි.

මෙල්බන් Western Warriors වෙනුවෙන් ඔවුන්ගේ ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු සහ හර්ෂජිත් විරේන්ද්‍ර පන්දුවාර 6ක් තුල පළමු කඩුල්ල සඳහා ලකුණු 46ක සබඳතාවයක් ගොඩනංවමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. අනතුරුව පිටියේ සිය අණසක පතුරු වන ලද දකුණතින් පිතිකරණයේ නිරත වන අවිශ්ක ප්‍රනාන්දු 4 පහර 3ක් සහ 6 පහර 9ක් එල්ල කරමින් පන්දු 42ක් තුල ලකුණු 86ක් ලබා ගත්තේය.

තවත් ක්‍රිකට් පුවත්:

විරේන්ද්‍රගේ දැවී යාම පිරවීම වෙනුවෙන් පිටියට පිවිසි ලක්ෂාන් එදිරිසිංහ ද සිය පිති ප්‍රහාරය කිසිදු අඩුවක් නොමැතිව දියත් කළේ 4 පහර සහ 6 පහර 3ක් සමඟ පන්දු 32ක් තුල ලකුණු 42ක් ලබා ගනිමිනි. 

අවසානයේ දී මෙල්බන් Western Warriors නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 211ක් ලබා ගත්තේ තරගාවලිය තුල දැනට කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගනිමිනි. ඔවුන්ගේ ඉනිමේ අවසානය තව තවත් වර්ණවත් කළ නායක තිසර පෙරේරා 6 පහර 3ක් සමඟ පන්දු 8ක දී ලකුණු 21ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී ප්‍රීමා Eastern Warriors නායක අසේල ගුණරත්න සහ ආර්. තෙනුද්දරන් කඩුලු 2ක බැගින් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

ලකුණු 212ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ප්‍රීමා Eastern Warriors කණ්ඩායමේ සියලු පිතිකරුවන් පන්දුවාර 16කුත් එක් පන්දුවක් අවසානයේ දැවී ගියේ ඔවුන්ගේ ඉනිම ලකුණු 138කට සීමා කරමිනි. එහි දී ඔවුන්ගේ පිතිකරුවන් අතර එකඳු හෝ සාර්ථක සහ දිගු සබඳතාවයක් ගොඩනොනැගීම මේ තරග පරාජය සඳහා ඔවුන්ට ප්‍රධාන ලෙස බලපෑවේය.

Video – ක්‍රිකට් පිටිය කළඹමින් Rednaraja Thenudaran රැකගත් සුපිරි උඩ පන්දුව

පන්දු යැවීමේ දී තිසර පෙරේරා ලකුණු 12කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂ පන්දුකරණයක නිරත වෙද්දී ප්‍රීමා Eastern Warriors වෙනුවෙන් දිගින් දිගටම ලකුණු අතර සිටින හිමාෂ ලියනගේ ලකුණු 27ක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි.

  • මෙල්බන් Western Warriors – 211/7 (20): අවිශ්ක ප්‍රනාන්දු 86, ලක්ෂාන් එදිරිසිංහ 42, තිසර පෙරේරා 21, අසේල ගුණරත්න 2/33, ආර්. තෙනුද්දරන් 2/44.
  • ප්‍රීමා Eastern Warriors – 138/10 (16.): හිමාෂ ලියනගේ 27, දුශාන් විමුක්ති 19, තිසර පෙරේරා 3/12, මහීෂ තීක්ෂණ 3/27.

මෙල්බන් Western Warriors කණ්ඩායමට ලකුණු 73ක ජයක්

තරගයේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු (මෙල්බන් Western Warriors)


ඩිමෝ Southern Warriors සහ සුපර් ෆැෂන් Northern Warriors

ඩිමෝ Southern Warriors කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ දකුණතින් පිතිකරණයේ නිරත වන ප්‍රියන්ත රත්නායක සහ නායක දිනේෂ් චන්දිමාල් පළමු කඩුල්ල සඳහා ගොඩනැංවූ ලකුණු 77 සබඳතාවයත්, වනිඳු හසරංග දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසාවෙනුත් මේ තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඩිමෝ Southern Warriorsට හැකි විය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් සුපර් ෆැෂන් Northern Warriors කණ්ඩායම් නායක සීකුගේ ප්‍රසන්න පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළ නමුත් එම තීරණය සඳහා සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණය කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. ඔවුන් සිය නියමිත පන්දුවාර 20 අවසන් වීමටත් පෙර සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 125ක් පමණි. එහි දී ජානක සම්පත් ලකුණු 27ක් ලබා ගත් අතර ඔවුන්ගේ අනෙක් පිතිකරුවන් හට එතරම්ම මට්ටමකට සාර්ථක වීමට අවස්ථාව ලැබුණේ නැත.

Video – 6×3යි | 4×3යි – දසුන් ශානකගේ පිත්ත ක්‍රියාත්මකයි

ලකුණු 126ක ඉතාමත් පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ඩිමෝ Southern Warriors කණ්ඩායමේ සුපුරුදු ආරම්භක පිතිකරුවන් යුගලය වන චන්දිමාල් සහ ප්‍රියන්ත පිළිවෙළින් ලකුණු 27ක් සහ ලකුණු 49ක් ලබා ගනිමින් ඔවුන්ගේ ආරම්භය සවිමත් කරන ලදි. 

චන්දිමාල්ගේ එම ඉනිම සඳහා 4  පහර දෙකක් සහ එක් 6 පහරක් ඇතුළත් වන විට, ප්‍රියන්තගේ ඉනිම සඳහා 4 පහර 10ක් අන්තර්ගත විය. කෙසේ නමුත් දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක දසුන් ශානක සහ හේෂාන් හෙට්ටිආරච්චි ඉතාමත් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් Southern Warriors කණ්ඩායමේ මැදපෙළ කඩුලු කිහිපයක් ඉතාමත් ඉක්මනින් දවා ගැනීමට සමත් වූ නිසා තරගය ඉතාමත් උණුසුම් මට්ටමකට පැමිණියේය.

කෙසේ නමුත් සිය ජාත්‍යන්තර අත්දැකීම් සහ දක්ෂතාවය එකට එක්කාසු කර ගත් වනිඳු පන්දු 24ක් තුල 4 පහර 3ක් එල්ල කරමින් ලකුණු 26ක් ලබා ගනිමින් නුවණක්කාරී ලෙස තරගයේ නිමාව සනිටුහන් කළ නිසාවෙන් ඔවුන්ට එම තරගය ජය ගැනීම සඳහා අවස්ථාව ලැබුණි.

  • සුපර් ෆැෂන් Northern Warriors – 125 (19.1): ජානක සම්පත් 27, වනිඳු හසරංග 3/32, සුරංග ලක්මාල් 2/17, සුමින්ද ලක්ෂාන් 2/18.
  • ඩිමෝ Southern Warriors – 126/5 (19): ප්‍රියන්ත රත්නායක 49, දිනේෂ් චන්දිමාල් 27, වනිඳු හසරංග 26*, දසුන් ශානක 3/19.

ඩිමෝ Southern Warriors කණ්ඩායමට කඩුලු 5ක ජයක්

තරගයේ වීරයා – වනිඳු හසරංග (ඩිමෝ Southern Warriors)

ඒ අනුව තරගාවලියේ දින තුනක් අවසන් වන විට තරගාවලිය තුල ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් 4 අතරින් ඩිමෝ Southern Warriors සහ මෙල්බන් Western Warriors තරග දෙක බැගින් ජයගෙන සිටියි. කෙසේ නමුත් දැනට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ Western Warriors කණ්ඩායමයි.

තරගාවලියේ උණුසුම් තරග තොරතුරු, ඡායාරූප සහ විශේෂ වීඩියෝ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<