කණ්ඩායම් හතරම වැඩ අල්ලද්දී Eastern Warriors පෙරමුණට

යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2020

213
Army Commander's T20 League

යුද හමුදා 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනය ද අතිසාර්ථක ලෙස අද (6) ක්‍රියාත්මක වූ අතර එහි දී  ප්‍රීමා Eastern Warriors සහ මෙල්බන් Western Warriors කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන ලදි. තරගාවලිය පැවැත්වෙන්නේ කළුතර දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දීයි.

ප්‍රීමා Eastern Warriors සහ සුපර් ෆැෂන් Northern Warriors

තරගයේ කාසියේ වාසිය දිනා ගත් සීකුගේ ප්‍රසන්න පළමුව පන්දුවට පහර දීම සඳහා අසේල ගුණරත්නගේ නායකත්වයෙන් යුත් Eastern Warriors කණ්ඩායමට ආරාධනා කළ අතර එහි දී Eastern Warriors පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 189ක් වාර්තා කරගත්තේය.

දැනට තරගාවලියේ එක් ක්‍රීඩකයෙක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට හිමාෂ ලියනගේ (ලකුණු 73*) සමත් වූ අතර පන්දු 37ක දී වාර්තා වුනු ඔහුගේ ඉනිම සඳහා 4 පහර 5ක් සහ 6 පහර 4ක් ඇතුළත් විය. ඔහු වයස අවුරුදු 24ක් වන තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර ඔහුගේ ලකුණු 73* ඉනිම වටා Eastern Warriors කණ්ඩායමේ යෝධ ලකුණු පුවරුව නිර්මාණය විය.

තවත් ක්‍රිකට් පුවත්: 

ඊයේ (5) දිනයේ දී ශතකයක් ලබා ගත් සඳුන් වීරක්කොඩි හට අද සාර්ථක ඵල නෙලා ගැනීමට නොහැකි වූ අතර නායක අසේල ගුණරත්න 4 පහර තුනක් සහ 6 පහර දෙකක් එල්ල කරමින් ලකුණු 45ක් ලබාගෙන සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. පන්දු යැවීමේ දී දකුණතින් දඟපන්දු යවන ජනක සම්පත් දක්ෂ පන්දුකරණයක නිරත වෙමින් ලකුණු 23කට කඩුලු 4ක් දවාගත්තේය.

ලකුණු 190ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Northern Warriors කණ්ඩායමට අද දිනයේ දී පිතිකරණයෙන් වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි වූයේ චතුරංග ද සිල්වාගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙනි. 

කෙසේ නමුත් භානුක රාජපක්ෂ සහ දසුන් ශානක පිළිවෙළින් ලකුණු 24ක් සහ ලකුණු 31ක් ලබා ගනිමින් දස්කම් දැක්වූ නමුත් යුද හමුදාව නියෝජනය කරමින් තරගයට සහභාගී වූ Northern Warriors කිසිදු ක්‍රීඩකයෙක් හට පිතිකරණයෙන් වැඩි දස්කම් අතරට පැමිණීමට අවස්ථාව ලැබුණේ නැත.

  • ප්‍රීමා Eastern Warriors – 189/6 (20) – හිමාෂ ලියනගේ 73*, අසේල ගුණරත්න 45, ජනක සම්පත් 3/23
  • සුපර් ෆැෂන්  Northern Warriors – 98/10 (18.3) – දසුන් ශානක 31, භානුක රාජපක්ෂ 24, චතුරංග ද සිල්වා 4/27, සසික ද සිල්වා 2/03.

ප්‍රීමා Eastern Warriors කණ්ඩායමට ලකුණු 91ක ජයක්

තරගයේ වීරයා – හිමාෂ ලියනගේ (ප්‍රීමා Eastern Warriors)


ඩිමෝ Southern Warriors සහ මෙල්බන් Western Warriors

පිත්තත් පන්දුවත් අතර උණුසුම් තරගයක් ඇතිවූ මෙම තරගය අවසන් පන්දුවාරය දක්වා ඇදී ගියේ තරගයේ ජය දෙපිලටම දෝලනය වෙමින් වුවත් අවසානයේ දී මෙල්බන් Western Warriors කඩුලු 6ක ජජයක් හිමිකර ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ඩිමෝ Southern Warriors නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහි දී ඔවුන්ගේ සියලුම දෙනා දැවී ගියේ පන්දුවාර විස්ස අවසන් වීමටත් පෙරාතුවයි. 

කෙසේ නමුත් නායකත්වයේ ඉනිමක් දියත් කළ දිනේෂ් චන්දිමාල් 4 පහර හතරක් සහ 6 පහර තුනක් එල්ල කරමින් පන්දු 43ක දී ලකුණු 66ක් ලබා ගත්තේය.

ඊට අමතරව දිගින් දිගටම තුන් ඉරියව් දස්කම් මනා රිද්මයකින් යුතුව පවත්වා ගන්නා වනිඳු හසරංග මේ තරගයේ දී ද ලකුණු 26ක් ලබා ගන්නා ලදි. අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 136කට සීමා විය.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන සචින් තිලකරත්න කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන විට නායක තිසර පෙරේරා කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 20ක් ලබා දෙමිනි.

ලකුණු 137ක පහසු ඉලක්කයක් හඹා ගිය මෙල්බන් Western Warriors සාර්ථක ආරම්භයක් ලබා ගත් අතර එහි දී දකුණතින් පිතිකරණයේ නිරත වන අවිශ්ක ප්‍රනාන්දු පන්දු 48ක දී ලකුණු 57ක් ලබා ගත්තේය. 

ඔහුගේ එම අර්ධ ශතකය සඳහා 4 පහර 4ක් සහ 6 පහර දෙකක් ඇතුළත් විය. කෙසේ නමුත් වනිඳු හසරංග සහ ශෙසඳ සොයිසා ඔවුන් දෙදෙනාගේ පන්දුවාර 4 ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කිරීම නිසාවෙන් මෙල්බන් Western Warriors කණ්ඩායමට සිය ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාර දෙක තුල ලකුණු 16ක් ලබා ගැනීමට නියමිතව තිබුණි.

කෙසේ නමුත් නායක තිසර පෙරේරා (ලකුණු 17*) සිය අත්දැකීම් සහ හැකියාවන් උපයෝගී කරගනිමින් ඔවුන්ගේ ඉනිමේ 19 වැනි පන්දුවාරය තුල 6 පහර දෙකක් එල්ල කරමින් ඔවුන්ගේ කණ්ඩායම දෙස තිබූ තරගයේ පීඩනය අනෙක් කණ්ඩායම දෙසට යොමු කරවමින් තරගයේ ජය සිය කණ්ඩායම සතු කරවන ලදි.

  • ඩීමෝ Southern Warriors – 136/10 (19.1) – දිනේෂ් චන්දිමාල් 66, වනිඳු හසරංග 26, සචින් තිලකරත්න 3/19.
  • මෙල්බන් Western Warriors – 137/4 (19.2) – අවිශ්ක ප්‍රනාන්දු 57, ලක්ෂාන් එදිරිසිංහ 25, තිසර පෙරේරා 17*, ජනිත් ද සිල්වා 2/25.

මෙල්බන් Western Warriors කණ්ඩායමට කඩුලු 6ක ජයක්

තරගයේ වීරයා – තිසර පෙරේරා (මෙල්බන් Western Warriors)

ඒ අනුව තරගාවලියේ දින දෙකක් අවසන් වන විට තරගාවලිය තුල ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් 4ම එක ජයග්‍රහණය බැගින් ලබාගෙන තිබෙන නමුත් දල ලකුණු ලබා ගැනීම අනුව ප්‍රසාද ලකුණු පුවරුවේ දැනට ඉදිරියෙන් සිටින්නේ අසේල ගුණරත්නගේ නායකත්වයෙන් යුත් ප්‍රීමා Eastern Warriors කණ්ඩායමයි.

උණුසුම් තරග තොරතුරු, ඡායාරූප සහ විශේෂ වීඩියෝ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<