Blue Eagles තරගාවලි සිහින බොඳ වෙයි

Vantage FFSL President's Cup 2020

195

Vantage FFSL President’s Cup 2020 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අද (23)  පැවති තරගවලින් Defenders සහ Blue Eagles පරදවමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට Java Lane සහ New Star සමත් විය.

Java Lane SC – Defenders FC 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු අර්ධය තුළ දී කිසිඳු ගෝලයක් රැස්කර ගැනීමට දෙපිළටම හැකි වූයේ නැත.

දෙවන අර්ධයේ අග භාගයේ දී Defenders ක්‍රීඩකයන් තරමක ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවක නිරත වූ නිසාවෙන් දෙපිළටම ගෝල වාර්තා කරගැනීමට නොහැකිව තරගයේ සම්පූර්ණ කාලය අවසන් විය.

තරගයේ මුළු කාලය ගෝල රහිතව අවසන් වීම නිසාවෙන් තරගයේ ජයග්‍රාහකයින් තීරණය කිරීමට දඬුවම් පහර අවස්ථාවකට යොමු වීමට සිදු විය.

මුල්ම දඬුවම් පහර අවස්ථාව හිමිකර ගත් Defenders ක්‍රීඩක ජේසුරාජ් බර්නාඩ් එල්ල කළ පහර Java Lane ගෝල රකින ක්‍රීඩක අශ්වාග් ආයුබ් සාර්ථකව වළක්වාලීමට සමත් විය. එම වැළැක්වීමෙන් පසුව Java Lane වෙනුවෙන් මුල්ම පහර හිමිකර ගත් මාලක පෙරේරා එල්ල කළ පහර Defenders ගෝල රකින්නාගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසාවෙන් Java Lane ක්‍රීඩකයන්ට ගෝලයක් ලබා දෙමින් අවසන් විය.

Defenders වෙනුවෙන් දෙවන දඬුවම් පහර හිමිකර ගත් අසිකුල් රහුමාන් එල්ල කළ පහරද ඉතා දක්ෂ ලෙස නවතාලීමට අශ්වාග් ආයුබ් සමත් විය. ඉන්පසුව සිය කණ්ඩායම වෙනුවෙන් දෙවන දඬුවම් පහර අවස්ථාව හිමිකර ගත් Java Lane ක්‍රීඩක අලීම් එල්ල කළ පහර ගෝල රාමුවෙහි වැදී රාමුව තුළට යාම වැළකීම නිසාවෙන් Java Lane ක්‍රීඩකයන්හට ගෝල වාර්තා කරගැනීමේ අවස්ථාවක් මගහැරී ගියේය.

එම වාසිය ප්‍රයෝජනයට ගත් Defenders ක්‍රීඩක සුපුන් දයාවංශ සිය කණ්ඩායම වෙනුවෙන් හිමි වූ තුන්වන දඬුවම් පහර සාර්ථක කරගනිමින් ගෝල තත්වය සම කිරීමට සමත් විය. ගෝල තත්වය සම වීමෙන් අනතුරුව සිය කණ්ඩායම වෙනුවෙන් තුන්වැනි දඬුවම් පහර එල්ල කිරීමේ අවස්ථාව හිමිකර ගත් Java Lane ක්‍රීඩක අබ්දුල්ලා ඉතා සාර්ථකව සිය අවස්ථාව අවසන් කරමින් සිය කණ්ඩායමට අවශ්‍ය ගෝල පරතරය ලබා දුන්නේය.

Defenders වෙනුවෙන් සිව්වැනි අවස්ථාව ලබා ගත් සජිත් කුමාර එල්ල කළ පහර ගෝල රාමුවේ වැදී නැවත පැමිණීම නිසාවෙන් තරගයේ වැඩි වාසි Java Lane ක්‍රීඩකයන්ට හිමි විය.

එම ගෝලය මගහැරීමේ වාසියත් සමඟ සිය කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක දඬුවම් පහර එල්ල කිරීමේ අවස්ථාව හිමිකර ගත් Java Lane ක්‍රීඩක Chikbura සිය පහර ඉතා අලංකාරව ස්ථානගත කරමින් සිය කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට රැගෙන යාමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: Java Lane SC 03 (00) – 01 (00) Defenders FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්

Java Lane SC:  මාලක පෙරේරා (P), අබ්දුල්ලා (P), Chikbura (P) 

Defenders FC: සුපුන් දයාවංශ (P)

තවත් කියවන්න:


Blue Eagles SC – New Star SC 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ 21 වැනි මිනිත්තුවේ දී Blue Eagles ක්‍රීඩක චතුරංග ප්‍රනාන්දු එල්ල කළ පහරක් ගෝල රාමුවේ වැදීම නිසාවෙන් ගෝල රාමුව වෙත යෑම වැළැක්විනි. තරගයේ 32 වැනි මිනිත්තුවේ දී Blue Eagles පසුපෙළ ක්‍රීඩකයන් සිදු කළ අත්වැරැද්දකින් ප්‍රයෝජන ගත් New Star ක්‍රීඩක මොහොමඩ් අනස් සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය රැස්කර දීමට සමත් විය.

දෙවන අර්ධයේ දී ගෝලයක් වාර්තා කරගැනීමේ බලාපොරොත්තුවෙන් Blue Eagles ක්‍රීඩකයන් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට සමත් වුවත්, තරගයේ 54 වැනි මිනිත්තුවේ දී New Star ක්‍රීඩක අස්කර් ලබා දුන් පන්දුවක් අලංකාරව ස්ථානගත කරමින් මොහොමඩ් අනස් සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ගෝලය රැස්කර දීමට සමත් විය.

තරගයේ 58 වැනි මිනිත්තුවේ දී Blue Eagles ක්‍රීඩකයන් එල්ල කළ නිදහස් පහරක් ගෝල රාමුවේ වැදී නැවත පැමිණෙනවාත් සමඟම එය නැවතත් හිසින් ගෝල රාමුවට එල්ල කරමින් සිය කණ්ඩායමට මුල්ම ගෝලය රැස්කර දීමට ඩී. කේ. දුමින්ද සමත් විය.

නමුත් තරගයේ 90 වැනි මිනිත්තුවේ දී කවිඳු ඉෂාන් ලබා දුන් පන්දුවක් නිවැරදිව පාලනය කර ගැනීමට මෙත්ම මල්ෂාන් හට නොහැකි වීමත් සමඟ අමතර කාලයේ දී ගෝල වාර්තා කරගැනීමට තිබූ ආසන්න අවස්ථාවක් මගහැරීම නිසාවෙන් තරගාවලියෙන් ඉවත්වීමට Blue Eagles ක්‍රීඩකයන්ට සිදු විය.

අවසන් ලකුණු තත්වය: Blue Eagles SC 01 (00) – 02 (02) New Star SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්

Java Lane SC: මොහොමඩ් අනස් (32’, 54’) 

Defenders FC: ඩී. කේ. දුමින්ද (58’)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<