Dhawan නැවතත් ඉන්දීය නායකත්වයට!

Asia Games 2023

10298

මෑත කාලීනව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ට ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකුම් ලබන Shikhar Dhawan පසුගිය කාලයේ පිතිකරණයෙන් එතරම් සාර්ථක වීමට අපොහොසත් වූ නිසාම කණ්ඩායමේ ස්ථානය අහිමි වී ගියා.

ඔහු වෙනුවට ඉන්දීය ආරම්භක පිතිකරු භූමිකාවට පණ පෙවීම වෙනුවෙන් ප්‍රධාන තෝරා ගැනීම ලෙස Shubman Gillව BCCI විසින් හඳුනා ගත්තා. එමෙන්ම ඊට අමතරව ද තවත් විකල්ප ක්‍රීඩකයින් ගණනාවක් ද BCCI සතු වීම නිසා දැනට 37 හැවිරිදි වියේ පසු වන Dahwan හට නැවතත් ඉන්දීය ජාතික කණ්ඩායමේ ඉඩක් විවර වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ඉන්දීය මාධ්‍ය මගින් මීට පෙර වාර්තා කළා.

කෙසේ වෙතත් දැන් ඉන්දියාවෙන් ලැබෙන නවතම තොරතුරු අනුව Shikhar Dhawanට වෙනත් විශේෂ කණ්ඩායමක් සමඟින් විශේෂ වගකීමක් දැරීමට අවස්ථාව උදා වී තිබෙනවා.

මෙම වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දී චීනයේ Hangzhou හිදි පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් කාන්තා සහ පිරිමි දෙඅංශයෙන් ම ක්‍රිකට් කණ්ඩායම් සහභාගී කරවීමට BCCI විසින් තීරණය කර ඇති බවත්, එහි දී පිරිමි කණ්ඩායමේ නායකත්වය Shikhar Dhawan හට හිමි විය හැකි බවත් PTI ඉන්දීය පුවත් සේවය විසින් සඳහන් කරනවා.

“වසර හතරකට වරක් පැවැත්වෙන ක්‍රීඩා උලෙළක් සඳහා සහභාගී වන ඉන්දීය B කණ්ඩායමේ නායකයා ලෙස Shikhar Dhawanගේ නම යෝජනා වෙමින් පවතී.”

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට මෙම වසර අතිශයින් ම කාර්ය බහුල එකක් වී ඇති අතර ඉදිරියේ දී ඔවුන් ප්‍රධාන තරගාවලි ලෙස ආසියානු කුසලානය සහ එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.

එම නිසා ඉන්දීය පිරිමි ජාතික කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් සහභාගී නොවනු ඇති බව සහ ඒ වෙනුවට Dhawanගේ නායකත්වය යටතේ දෙවැනි පෙළ (B) කණ්ඩායමක් තරගාවලිය සඳහා සහභාගී වනු ඇති බවයි PTI පුවත් මඟින් දැන ගැනීමට ලැබෙන්නේ.

කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් මාසයෙන් පසු ඉන්දීය කණ්ඩායමෙන් ඉවතට විසි වූ Dhawan ඊට පෙර අවස්ථා දෙකක දී ඉන්දීය ජාතික කණ්ඩායම මෙහෙයවීමේ (නවසීලන්තයට සහ ශ්‍රී ලංකාවට එරෙහිව) භාග්‍යය උදා කර ගත්තා.

මේ අතර 2023 ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දීය පිරිමි දෙවැනි පෙළ කණ්ඩායමක් ඉදිරිපත් කළ ද, ගිය වසරේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් සහභාගී වී රිදී පදක්කමක් දිනා ගැනීමට පවා සමත් වූ Harmanpreet Kaurගේ නායකත්වයෙන් යුත් ඉන්දීය නිත්‍ය කාන්තා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා ද සහභාගී වනු ඇති බවයි දැන ගැනීමට ලැබෙන්නේ.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<