2023 CPL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් සිව්දෙනෙක්!

CPL 2023

5397
Four sri lankans got chance to play 2023 cpl

මෙම වසරේ අගෝස්තු මාසයේ දී කැරිබියන් දූපත් මූලික කර ගනිමින් පැවැත්වීමට නියමිත Caribbean Premier League (CPL) ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව්දෙනෙකුට අවස්ථාව හිමි වී තිබෙනවා. 

2023 CPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා සිදු කළ ක්‍රීඩක කෙටුම්පත්කරණය (Player Draft) අනුව මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, දසුන් ශානක සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් සිව්දෙනා හට මෙවර CPL තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ. 

මෙහි දී නිමා වූ IPL තරගාවලියේ දී Chennai Super Kings වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් පෙන්වීමට සමත් වූ මතීෂ පතිරණ හට CPL ඉතිහාසයේ වඩාත් ම සාර්ථක කණ්ඩායම ලෙස සැලකිය හැකි Trinbago Knight Riders (ශූරතා 4ක්) සමඟ එක් වීමට අවස්ථාව හිමි වී තිබෙනවා.  

එමෙන්ම CSK කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන Dwayne Bravo විසින් CPL තරගාවලියේ Trinbago Knight Riders කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන නිසා CSK හිදි දක්නට ලැබුණු මතීෂ – Bravo සුසංයෝගය මෙහි දී පෙරට වඩා වෙනස් අයුරකින් දැක බලා ගැනීමට ඉඩකඩ ලැබෙනු ඇති. 

එමෙන්ම IPL හිදි මතීෂ සමඟින් චෙන්නායි වෙනුවෙන් විශිෂ්ට දස්කම් පෙන්වීමට සමත් වූ මහීෂ් තීක්ෂණ හට ද මෙවර CPL තරගාවලිය වෙනුවෙන් Barbados Royals සමඟ එක් වීමට අවස්ථාව හිමි වී තිබීම විශේෂත්වයක්. 

මීට පෙර 2022 වසර වෙනුවෙන් මහීෂ් හට Trinbago Knight Riders සමඟ එක් වීමට අවස්ථාව හිමි වුවත්, ඔහුට ඒ වෙනුවෙන් අවසර හිමි නොවීම (NOC) නිසා එම අවස්ථාව මග හැරී ගියා. 

එමෙන්ම බොහෝ විදෙස් ක්‍රිකට් ලීග් තරගාවලිවල දී එකට එක්ව ක්‍රීඩා කරන අයුරු දකින්නට ලැබෙන භානුක රාජපක්ෂ, දසුන් ශානක සහ Sikandar Raza එකමුතුවට නැවත ජීවය ලබා දීමට St Lucia Kings තීරණය කර තිබෙනවා. ඒ අනුව නැවත වතාවක් මෙම ක්‍රීඩක එකමුතුව දැක ගැනීමට ක්‍රිකට් රසිකයින්ට ඉදිරියේ දී අවස්ථාව හිමි වනු ඇත. 

මීට අමතරව Trinbago Knight Riders විසින් දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු Rilee Rossouw සහ ඇෆ්ගනිස්තානයේ Noor Ahmadව ද සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. 

එමෙන්ම වත්මන් CPL ශූරයින් ලෙස කිරුළු දරා සිටින Jamaica Tallawahs විසින් පෙර වසරේ දී ද සිය කණ්ඩායම වෙනුවෙන් දායකත්වය සැපයූ Imad Wasim, Mohommad Amir සහ Chris Green යන ක්‍රීඩකයින් ව නැවතත් සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට පියවර ගෙන තිබීම විශේෂත්වයක්. 

මේ හැරුණු කොට විස්සයි විස්ස පිටියේ කැපී පෙනෙන දක්ෂතා දක්වන තවත් ක්‍රීඩකයින් රැසක් සමඟ 2023 CPL තරගාවලිය මෙම වසරේ අගෝස්තු 16 වැනිදා සිට සැප්තැම්බර් 24 වැනිදා තෙක් කැරිබියන් දූපත් (රටවල්) පහක දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.  

නමුත් මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ LPL තරගාවලිය (ජූලි 30 සිට අගෝස්තු 20 දක්වා) සහ එංගලන්තයේ The Hundred තරගාවලිය ද (අගෝස්තු 1 සිට අගෝස්තු 27 දක්වා)  පැවැත්වීමට සැලසුම් කර ඇති නිසා මෙම තරගාවලි අතර යම් ඝට්ටනයක් නිර්මාණය වීමේ අවදානමක් ද මතු වී තිබෙනවා. 

2023 CPL තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<