අපි 24ක් ලංකාවට අරන් එනවා – බංග්ලාදේශ් තේරීම් ප්‍රධානි

201

ශ්‍රී ලංකා සංචාරය සඳහා සහභාගී වන බංග්ලාදේශ ක්‍රිකට් සංචිතය පුහුණු තරගවලින් පසුව නම් කරන බව බංග්ලාදේශ තේරීම් කමිටුවේ ප්‍රධානී මින්හාජුල් අබේඩීන් පවසා තිබේ. 

කොරෝනා වයිරසය නිසා මාස පහකට අධික කාලයක් ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි අතර ඒ හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති වීම මෙලෙස අවසන් සංචිතය නම් කිරීමට බාධාවක් වී ඇති බව ද ඔහු පවසා සිටියේය. 

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පසුගිය දා සිය පුහුණු කඳවුර පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කළේය. ඔවුන්ගේ සැලසුම්වලට අනුව සතියක පුහුණු කඳවුරකින් අනතුරුව සැප්තැම්බර් 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. 

“අපි සිම්බාබ්වේවල දී ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කළා. ඊට පස්සේ අපි කිසිම තරගයක් ක්‍රීඩා කරලා නැහැ. අපි පුහුණුවීම් පවා කළේ නැහැ. මේ නිසා ක්‍රීඩකයන් තෝරාගද්දී අපිට ඔවුන්ගේ අත්දැකීම්වලට වැඩි ඉඩක් ලබා දෙන්න වෙනවා” යැයි මින්හාජුල් පැවසීය.  

“අපි ශ්‍රී ලංකාවේ දී පුහුණු තරග රාශියකට සහභාගී වෙන්න සැලසුම් කරලා තියනවා. අපේ ප්‍රධාන සංචිතය ඒ පුහුණු තරගවලින් පස්සේ නම් කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවට යද්දී අපි දිගු සංචිතයක් එක්ක යන්න බලාපොරොත්තු වෙනවා”

“ශ්‍රී ලංකාවේ පුහුණු සැසිය අපට ඉතා වැදගත්. පසුගිය මාස පහ තුළ දීර්ඝ විරාමයක් තිබුණේ. ඒ නිසා අපි ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම ගැන බලන්න ඕනේ. ක්‍රීඩකයන්ට කෙතරම් ඉක්මනින් නැවත ඔවුන්ගේ සාමාන්‍ය ක්‍රීඩා රටාවට එන්න පුළුවන් වේවි ද කියලා අපි හිතන්න ඕනේ. ජාත්‍යන්තර වේදිකාවේ දී එය වැදගත් කියලා අපි හිතනවා.”

“දැනට අපි ක්‍රීඩකයන් 20ත්, 22ත් අතර ප්‍රමාණයක් එක්ක ශ්‍රී ලංකාවට ගිහින් පුහුණු තරගවලින් පස්සේ අවසන් සංචිතය නම් කරනවා. අපි අපගේ ප්‍රධාන සංචිතය නම් කරන්නේ ලංකාවට ගියාට පස්සේ.” 

තවත් ක්‍රිකට් පුවත් :

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පැවැත්වීමට සැලසුම් කර ඇති පුහුණු සැසිය සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් 38 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර ඇත. එම ක්‍රීඩකයන් සියල්ලන්ම COVID-19 සඳහා වන පරීක්ෂණයට මුහුණදීමට නියමිතය. ඒ බව මින්හාජුල් මහතා ද තහවුරු කළේය. 

කෙසේ වෙතත් හදිසි අවස්ථාවක දී කැඳවිය හැකි සෙසු ක්‍රීඩකයින් පිළිබඳව ද ඔවුන් විමසිල්ලෙන් පසුවනු ඇත. 

24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අපි ශ්‍රී ලංකාවට අරන් යනවා. ඒ නිසා අපට අවශ්‍ය ඕනෑම කෙනෙක් ඕනෑම වේලාවක භාවිතා කරන්න පුළුවන්” ඔහු පැවසීය.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ගේ අත්දැකීම්වලට ප්‍රමුඛතාවය දෙන බව මින්හාජුල් තරයේ කියා සිටිය ද, මහමුදුල්ලා එම සංචිතයට ඇතුළත් වන්නේ දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට ඔහු පැහැදිලි කිරීමක් ලබා දුන්නේ නැත. 

අපි දැනට මහමුදුල්ලා සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැහැ” මිංහාජුල් Cricbuzz වෙත පවසා ඇත. 

“අපි ඔහුව එක්දින තරගවලට ඇතුළත් කරගන්න සැලසුම් කළා. ඒත් දැන් තත්වය වෙනස්. මහ්මදුල්ලා සම්බන්ධයෙන් අපගේ තීරණය වෙනස් කරන්න සිදු වේවි ද කියලා තවමත් තහවුරු කරන්න බැහැ. අපේ පුහුණුකරු ඊළඟ සතිය තුල අපිත් එක්ක එකතු වෙනවා. ඔහු ආවට පස්සේ කණ්ඩායමේ නායකයත් එක්ක සාකච්ඡා කරලා මහ්මදුල්ලා ගැන අවසන් තීරණයක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා.” 

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමඟින් පැවති ටෙස්ට් තරග කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමට මහමුදුල්ලා පසුගිය කාලයේ දී තීරණය කළේය. කෙසේ වෙතත් 22 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඔහු ඇතුළත් නොවන්නේ නම් එය ඔහුගේ අවාසනාව වනු ඇත. වසරේ ඉතිරි කාලය තුළ බංග්ලාදේශය වෙනත් කිසිදු ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට හැකියාවක් නොමැත. එය මහමුදුල්ලාගේ ටෙස්ට් දිවිය සම්බන්ධයෙන් ගත් කළ දැඩි පහරක් විය හැකිය. 

කෙසේ වෙතත් බංග්ලාදේශ ටෙස්ට් සංචිතය පිළිබඳව වාර්තා කළ cricbuzz වෙබ් අඩවිය සඳහන් කළේ බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව මොහොමඩ් සයිෆුදින් පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවත්, ශ්‍රී ලංකාවට එරෙහි එළඹෙන ටෙස්ට් තරගාවලියේ දී ඔහුට විවේකයක් ලබා දිය හැකි බවත්ය. 

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<