බ්‍රසීල සුපිරි තරු දෙකක් ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු!

FIFA world cup 2022

778
Alex Telles and Gabriel Jesus

මෙවර ලෝක කුසලාන බ්‍රසීල පාපන්දු සංචිතයේ Alex Telles සහ Gabriel Jesus යන ක්‍රීඩකයින් දෙදෙනාගේම දණහිසේ ඇති වී තිබෙන ආබාධ හේතුවෙන් ඔවුන්ට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අහිමි වී යාමේ අවධානයක් මතු වී තිබෙනවා.

ඊයේ (02) කැමරූන් කණ්ඩායම සමඟ පැවති තරගයේ දෙවැනි භාගයේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු සමඟ ඇති වූ ගැටීමකින් පසුව Telles පිටියෙන් ඉවත් වූ අතර, තරගය අවසන් වීමෙන් පසුව පිටියෙන් ඉවතට යද්දී Jesus විසින් සිය ආබාධය පිළිබඳ සැල කර තිබෙනවා.

ඒ අනුව තරගයෙන් පසු ක්‍රීඩකයින් දෙදෙනා ම වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කර ඇති අතර, ඔවුන් දෙදෙනාගේම දකුණු දණහිසේ ආබාධ සිදු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අතරින් Gabriel Jesusගේ ආබාධය බරපතළ නොවන බව දැන ගැනීමට ලැබෙන නමුත් ඔහුට මාසයක පමණ කාලයක් විවේකීව සිටීමට සිදු වනු ඇති බව මූලික වෛද්‍ය වාර්තාවලින් නිරාවරණය වී තිබෙනවා.

එම තොරතුරු සත්‍ය වුවහොත් ලෝක කුසලානය අවසන් වීමෙන් පසු නැවත ආරම්භ වන ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Arsenal කණ්ඩායම නියෝජනය කරන Jesus හට West Ham, Brighton සහ Newcastle සමඟ තරග මග හැරෙනු ඇත.

නමුත් දැනට ලැබෙන ආරංචි අනුව Alex Tellesගේ ආබාධය තරමක් බරපතළ අතර එයට සැත්කමක් කිරීමට සිදු වනු ඇත.

කටාර් වෙත පැමිණි බ්‍රසීල කණ්ඩායමට ආබාධවලින් දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, මීට පෙර Neymar, Danilo සහ Alex Sandro යන ක්‍රීඩකයින් ද ආබාධවලට ගොදුරු වුනා.

ඊයේ කැමරූන් වලට එරෙහි තරගයේ දී Telles and Sandroගේ ආබාධ නිසා Marquinhos හට ද පිටියට පිවිස ක්‍රීඩා කිරීමට සිදු වුනා. දකුණු කොරියාවට එරෙහිව පැවති තරගය වන විට Sandroගේ ආබාධය සුව නොවුනහොත් බ්‍රසීල පුහුණුකරුට නැවතත් කැමරූන් කණ්ඩායමට එරෙහිව යෙදූ ක්‍රියා මාර්ගයම ගැනීමට සිදු වනවා.

මේ අතර බ්‍රසීල කණ්ඩායමේ සුපිරි තරුව Neymar මේ වන විට සුවය ලබමින් සිටින අතර, කණ්ඩායමේ ඉදිරි තීරණ අනුව ඔහු ඉක්මනින් ම සැහැල්ලු පුහුණුවීම් (Light Training) ආරම්භ කරනු ඇති බව කණ්ඩායමේ වෛද්‍යවරයා විසින් පවසා තිබුණා.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

90 Min ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<