Neymar බ්‍රසීලයේ ඉපදුණේ ඔහුගේම අවාසනාවකට!

FIFA world cup 2022

12448

සර්බියාව සමඟ මෙවර පාපන්දු ලෝක කුසලානයේ පළමු තරගය ක්‍රීඩා කරමින් සිටි සුපිරි බ්‍රසීල ක්‍රීඩක Neymarට තරගයේ අවසාන භාගයේ දී කකුලේ වළලුකරේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදු වුනා.

කෙසේ වෙතත් බ්‍රසීල කණ්ඩායම එම තරගයෙන් සර්බියාවට එරෙහිව ගෝල 2-0ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා. එම ගෝල දෙකේම අයිතිය Richarlison සතු වූ අතර, තරගයේ 80 වැනි මිනිත්තුවේ දීයි Neymarට පිටියෙන් ඉවත් වීමට සිදු වුනේ.

ඒ වන විටත් බ්‍රසීලය එම තරගයේ ජයග්‍රහණය තහවුරු කරගෙන තිබුණා.

නමුත් මේ ආබාධ තත්වය හේතුවෙන් Neymarට ලෝක කුසලානයේ මූලික වටයේ ඉදිරි තරග දෙකටම සහභාගී වීමට ඇති අවස්ථාව අවම බවයි දැන ගන්නට ලැබෙන්නේ.

කෙසේ වෙතත් බ්‍රසීලයට ලෝක කුසලානයේ ඉදිරි වටයට යාමට හැකි වුවහොත් Neymarට තම කණ්ඩායම වෙනුවෙන් නැවතත් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

මේ අතර තවත් බ්‍රසීල ක්‍රීඩකයකු වන Raphinha විසින් Neymarගේ මේ ඇති වූ ආබාධයත් සම්බන්ධ කර ගනිමින් බ්‍රසීල පාපන්දු රසිකයින්ව විවේචනයට භාජනය කර තිබෙනවා.

සමහර බ්‍රසීල පාපන්දු රසිකයින් Neymar තරගාවලියෙන් ඉවත් වනු ඇතැයි ප්‍රාර්ථනා කරන බවත්, Lionel Messiට සහ Cristiano Ronaldoට ලබා දෙන පිළිගැනීම ඔවුන් Neymar  හට ලබා නොදෙන බවත් Raphinha විසින් පවසනවා.

“ආජන්ටිනා ආධාරකරුවන් Messiට දෙවියෙක්ට වගේ සලකනවා, පෘතුගාල ආධාරකරුවන් Ronaldoට රජෙක්ට වගේ සලකනවා. බ්‍රසීල ආධාරකරුවන් Neymarගේ කකුල කැඩෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොන තරම් කණගාටුදායක ද?

Neymarගේ ක්‍රීඩා ජීවිතයේ ලොකුම වරද තමයි බ්‍රසීලයේ ඉපදීම, ඔහුගේ දක්ෂතාවය සහ ඔහුගේ පාපන්දු මේ රටට වටින්නේ නැහැ.”

Neymar විසින් මෙවර ක්‍රීඩා කරන්නේ ඔහුගේ තුන් වැනි ලෝක කුසලානයට වන නමුත්, මෙවර මෙන්ම පසුගිය දෙවතාවේදීත් ඔහුගේ ආබාධ නිසා ලෝක කුසලාන තරගවලට ක්‍රීඩා කිරීමට ඔහුට යම් යම් බාධා එල්ල වුනා.

2014 ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළොම්බියාවට එරෙහි තරගයේ දී ඇති වූ පිට කොන්දේ ආබාධ තත්වයක් නිසා ඔහුට එවර ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමි වූ අතර, ඔහුගේ අහිමි වීමත් සමඟින් අවසන් පූර්ව වටයට පිවිසුණු බ්‍රසීලය ජර්මනිය හමුවේ ගෝල 7-1ක් ලෙස ඉතිහාසගත පරාජයකට මුහුණ දුන්නා.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Sportsbrief ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<