පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පැවැත්වුණු අපකීර්තිමත්ම තරගය

FIFA World Cup 2022

1351

මෙවර පාපන්දු ලෝක කුසලානයේ තරග එක්ක දිගින් දිගටම එකතු වෙලා හිටිය කෙනෙක් නම් ඔබට ඊයේ (29) පටන් පාපන්දු තරග ආරම්භ වෙන වෙලාවන් වල වෙනසක් වුණු බව වැටහෙන්න ඇති.

නමුත් ඔබ දන්නවා ද ඒ විදිහට තරග ආරම්භ කරන වෙලාවන් වෙනස් වෙන්න නිදන් ගත කතාවක් තියෙනවා කියලා?

පසුගිය සඳුදා වන තෙක් හැමදාම සවස 3.30ට, එතැන් සිට සවස 6.30, රාත්‍රි 9.30 සහ මධ්‍යම රාත්‍රි 12.30 යන වෙලාවන් වලට තමයි ශ්‍රී ලංකාවේ ඔබට පාපන්දු ලෝක කුසලාන තරග බලන්න පුළුවන් වුනේ.

නමුත් ඊයේ පටන් තරග ආරම්භ වෙන වෙලාවන් වල වෙනසක් වුනා. පළමු තරග දෙක රාත්‍රි 8.30 ට සහ ඊළඟ තරග දෙක මධ්‍යම රාත්‍රි 12.30 විදිහට.

ඒ අනුව ඊයේ සෙනගාලය සහ ඉක්වදෝරය අතර තරගයත්, නෙදර්ලන්තය සහ කටාර් අතර තරගයත් රාත්‍රි 8.30ට ආරම්භ වුණු අතරේම, ඇමරිකාව සහ ඉරානය අතර තරගයත්, එංගලන්තය සහ වේල්ස් අතර තරගයත් රාත්‍රි 12.30ටත් ආරම්භ වුනා.

FIFA මගින් අනුගමනය කරන නීති ප්‍රකාරව සෑම ලෝක කුසලාන තරගාවලියකම මූලික වටයේ කාණ්ඩ අටේම අවසන් තරග 16 (සෑම කණ්ඩායමක්ම මූලික වටයේ ක්‍රීඩා කරන අවසන් තරගය, එහෙමත් නැතිනම් සෑම කාණ්ඩයක් වෙනුවෙන්ම පැවැත්වෙන අවසන් තරග ද්විත්වය) ආරම්භ වීමට නියමිත මේ ආකාරයෙනුයි.

ඒ අනුව අද රාත්‍රි 8.30ට D කාණ්ඩයේ අවසන් තරග දෙක වන ඕස්ට්‍රේලියාව සහ ඩෙන්මාර්ක් අතර තරගයත්, ප්‍රංශය සහ ටියුනීසියාව අතර තරගයත් පැවැත්වීමට නියමිත අතර, මධ්‍යම රාත්‍රි 12.30ට C කාණ්ඩයේ අවසන් තරග දෙක වන සෞදි අරාබියා සහ මෙක්සිකෝව අතර තරගයත්, ආජන්ටිනාව සහ පෝලන්තය අතර තරගයත් පැවැත්වේවි.

ඒත් FIFA මගින් මෙවැනි පිළිවෙතක් අනුගමනය කිරීමට සැබෑම හේතුව ඔබ දන්නවා ද?

ඒ ගැන ඇත්තම හේතුව දැන ගන්න නම් අපිට සිද්ධ වෙනවා 1982 දී ස්පාඤ්ඤයේ පැවැත්වුණු පාපන්දු ලෝක කුසලානයේ ඔස්ට්‍රියාව සහ බටහිර ජර්මනිය අතර  තරගය වෙත අවධානය යොමු කරන්න. පාපන්දු ඉතිහාසයේ මෙම තරගය හඳුන්වන තවත් නමක් තියෙනවා ඒ තමයි ‘The disgrace of Gijon’.

1982 ජුනි 25 වැනිදා ස්පාඤ්ඤයේ Gijon හී El Molinon ක්‍රීඩාංගණයේ තමයි මේ කණ්ඩායම් දෙක අතර තරගය පැවැත්වෙන්නේ. එවර ලෝක කුසලානයේ 2 කාණ්ඩයේ අවසන් තරගය එය වූ අතර, එම කාණ්ඩයේ අනිත් කණ්ඩායම් දෙක වූ ඇල්ජීරියාව සහ චිලී රාජ්‍යය ඔවුන්ගේ අවසන් තරගයට ජුනි 25 දවසේම ඔස්ට්‍රියා- ජර්මනි තරගයට පෙර මුහුණ දීලයි තිබුණේ.

එවර ලෝක කුසලානයට සහභාගී වූ ඇල්ජීරියානු කණ්ඩායම තමන්ගේ මූලික වටයේ තරග තුනේ ඉතා හොඳ දස්කම් දැවීමට සමත් වෙලා තිබුණා. ඔවුන් ලෝක කුසලානයේ මුහුණ දුන් ප්‍රථම තරගයෙන් බටහිර ජර්මනිය පරාජය කිරීමට සමත් වුනු අතර, දෙවැනි තරගයේ දී ඔස්ට්‍රියාව හමුවේ පරාජය වුනා.

නමුත් නැවතත් සිය රිද්මය සොයා ගත් ඇල්ජීරියාව චිලී රාජ්‍යය පරාජය කරමින් ලකුණු 4ක් සහිතව 2 කාණ්ඩයේ දෙවැනි ස්ථානය තහවුරු කර ගත්තා. ඒ වන විට එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබුණේ ඔස්ට්‍රියා කණ්ඩායම විසින්.

එම නිසා ඔස්ට්‍රියා- ජර්මන් (බටහිර) අතර තරගය ආරම්භ වීමට පෙර ඉදිරි වටයට යන කණ්ඩායම් තේරී පත්විය හැකි විදි තුනක් තිබුණා.

ඒ තමයි,

  1. ඔස්ට්‍රියාව තරගය ජය ගැනීම හෝ සම මට්ටමෙන් අවසන් වීමෙන් ඔස්ට්‍රියාව සහ ඇල්ජීරියාව ඊළඟ වටයට පිවිසීම.
  2. බටහිර ජර්මනිය ගෝල තුනක් හෝ ඊට වැඩි පරතරයකින් තරගය ජය ගත හොත් ජර්මනිය සහ ඇල්ජීරියාව ඉදිරි වටයට පිවිසීම.
  3. බටහිර ජර්මනිය ගෝල එකකින් හෝ දෙකකින් ජයග්‍රහණය කළ හොත් ගෝල වෙනස මත පදනම් වී ඔස්ට්‍රියාව සහ ජර්මනිය ඉදිරි වටයට පිවිසීම සහ ඇල්ජීරියාව ගෙදර යෑම.

1982 ජුනි 25 දින පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සිදු වූ අපකීර්තිමත්ම තරගයට පාර කැපෙන්නේ ඉහත ආකාර තුනෙන්, තුන්වැනියට සඳහන් කළ ක්‍රමය අනුවයි.

එදා ඔස්ට්‍රියාව සහ බටහිර ජර්මන් කණ්ඩායම් දෙක එකතු වී ක්‍රීඩා කළ කුමන්ත්‍රණකාරී තරගය අවසන් වුනේ ගෝල 1-0ක් ලෙස ජර්මනියට තරගයේ ජයග්‍රහණය හිමි කර දෙමිනුයි.

එදා තරගයේ 12 වැනි මිනිත්තුවේ දී The Header Beast ලෙස විරුදාවලි ලත් Horst Hrubesch ජර්මනිය වෙනුවෙන් පළමු සහ තරගයේ වාර්තා වූ එකම ගෝල ලබා ගන්නට සමත් වුනා.

නමුත් එම ගෝලයෙන් අනතුරුව දෙපිලේම ක්‍රීඩකයින් කිසිදු තරගකාරී බවකින් තොරව ඔහේ පන්දුව එහා මෙහා හුවමාරු කරගනිමින් කාලය නිකරුණේ නාස්ති කර ගන්නට පටන් ගත්තා. අතරින් පතර ක්‍රීඩකයෙක් දෙන්නෙක් යම් තරගකාරී බවක් පෙන්වීමට උත්සාහ කළත්, බොහෝ විට දෙපිළම පන්දුව තමන්ගෙ අර්ධයේම තබා ගනිමින් පිරිහී ගිය තරග රටාවක් ප්‍රදර්ශනය කළා.

ඒ අනුව ගෝල 1-0ක් ලෙස බටහිර ජර්මනිය තරගය ජයග්‍රහණය කළ අතර, 2 කාණ්ඩයේ ලකුණු සටහන ජර්මනිය, ඔස්ට්‍රියාව සහ ඇල්ජීරියාව යන කණ්ඩායම් තුනම ලකුණු 4 බැගින් ලබා ඇති බව සටහන් කළා.

නමුත් මූලික වටයේ තරගවල එම කණ්ඩායම් ලබා ගත් ගෝල අතර වෙනස (ලබා ගත් සහ ලබා දුන් ගෝල අතර පරතරය) අනුව ජර්මනිය සහ ඔස්ට්‍රියාව ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. එම කණ්ඩායම් තුනේ ගෝල අතර වෙනස සඳහන් වුනේ බටහිර ජර්මනිය +3, ඔස්ට්‍රියාව +2 සහ ඇල්ජීරියාව 0ක් විදිහටයි.

එදා තරගයේ විස්තර විචාරකයින් මෙන්ම,තරගය බලන්න ආපු ක්‍රීඩාලෝලීන් ද තමන්ට දකින්න ලැබුණු නිවට ක්‍රීඩා විලාශය පිළිකුලෙන් යුතුව හෙළා දැක්කා.

තරගය නරඹමින් සිටි ඇල්ජීරියානු ප්‍රේක්ෂකයින් මුදල් ගිනි දල්වමින් තරගයට විරෝධය පළ කළ අතර (කවරයේ ඡායාරූපය), ජර්මානු ක්‍රීඩා රසිකයින් ද එම තරගය පිළිබඳව සිය පිළිකුල් සහගත බව පෙන්වා තිබුණා. (එක් ජර්මානු රසිකයෙක් සිය රටේ ජාතික ධජය පුළුස්සා දමා තිබුණා.)

ස්පාඤ්ඤයේ දේශීය පුවත්පතක් වන El Comercio විසින් එම තරගය පිළිබඳ ප්‍රවෘත්තිය තම පුවත්පතේ අපරාධ සඳහා වෙන් වූ පිටුවේ වාර්තා කළ අතර, සමහර විදෙස් මාධ්‍යවල සටහන් වූ පරිදි ඔස්ට්‍රියාවේ ජාතික විකාශකයින් එරට වැසියන්ට රූපවාහිනී නිවා දමන්නැයි කියා තිබුණා.

එදා තරගයේ සිදු වූ සිදු වීම තරගය අතරතුර ගත් තීරණයක් අනුව සිදු වූ බවත්, එය කිසිදු ආකාරයක තරග පාවා දීමකට සම්බන්ධ වූවක් නොවන බවත් විදෙස් මාධ්‍ය මගින් තහවුරු කරනවා.

නමුත් එය පාපන්දු ඉතිහාසයේ පැවැත්වුණු වඩාත්ම අපකීර්තිමත් තරගයක් ලෙස පිළිගැනෙන අතර, ඒ නිසාම එම තරගය ‘The disgrace of Gijon’ යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබනවා.

ඇල්ජීරියානු පාපන්දු සම්මේලනය මේ පිළිබඳ සිය විරෝධය පල කළ නමුත් කිසිදු පාපන්දු නීතියක් නොබිඳුණු තරගයක් වෙනුවෙන් පියවරක් ගැනීමට කිසිදු අංශයකට අවස්ථාවක් ලැබුණේ නැහැ.

නමුත් ඉදිරියට එවැනි සිදුවීම් වීම වැළැක්වීම සඳහා FIFA මගින් පියවර ගත් අතර, ඒ අනුව 1986 පාපන්දු ලෝක කුසලානයේ පටන් මූලික වටයේ සෑම කාණ්ඩයකම අවසන් තරග ද්විත්වය එකවර පැවැත්වීමට පියවර ගත්තා.

එමගින් කිසිම කණ්ඩායමකට කලින් පැවැත්වූ තරග ප්‍රතිඵල වලට අනුගත වෙමින් අනිසි අන්දමින් ක්‍රීඩා කිරීමට ඇති අවස්ථාව වළක්වනු ලැබුවා.

කෙසේ වෙතත් 1982 ලෝක කුසලානයේ අවසන් මහා තරගය දක්වාම යාමට බටහිර ජර්මනිය සමත් වුනත්, අවසන් මහා තරගයේ දී ඔවුන්ට ඉතාලිය හමුවේ පරාජය වීමට සිදු වුනා. ඔස්ට්‍රියානු කණ්ඩායමට නම් ඒ තරම් දුරක් යා හැකි වුනේ නැහැ. ඔවුන්ට තරගාවලියේ දෙවැනි වටයෙන්ම ඉවත්ව යාමට සිදු වුනා.

පාපන්දු ලෝක කුසලානයන්හී මූලික වටයේ සෑම කාණ්ඩයමකම අවසන් තරග දෙක එකම මොහොතක පැවැත්වීමට සැබෑම හේතුව වෙන්නේ මෙන්න මේකයි.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<