මෙක්සිකෝවෙන් Messiට තර්ජන!

FIFA world cup 2022

2932
LUSAIL CITY, QATAR - NOVEMBER 26: Lionel Messi of Argentina reacts during the FIFA World Cup Qatar 2022 Group C match between Argentina (2) and Mexico (0) at Lusail Stadium on November 26, 2022 in Lusail City, Qatar. (Photo by Simon Bruty/Anychance/Getty Images)

මෙවර පාපන්දු ලෝක කුසලානයේ මෙක්සිකෝව සමඟ පැවැත්වුණු තරගයෙන් ගෝල 2-0ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ලෝක කුසලානයේ ඉදිරි වටයට යාමේ බලාපොරොත්තු තවදුරටත් ජීවමානව පවත්වා ගැනීමට ආජන්ටිනා පාපන්දු කණ්ඩායම ඊයේ (28) සමත් වුනා.

ඒ අනුව මීළඟට ඔවුන් මුහුණ දෙන පෝලන්තය සමඟ තරගයෙන් ජය ගතහොත් පහසුවෙන්ම ඉදිරි වටයට යාමට හැකියාව පවතින අතර, එම තරගය සම මට්ටමින් අවසන් වුවහොත් මෙක්සිකෝ සහ සෞදි තරගයේ ප්‍රතිඵලය දෙස අවධානයෙන් සිටීමට Lionel Messi ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායමට සිදු වනවා.

මෙක්සිකෝව සමඟ පැවැත්වුණු තරගයේ දී ආජන්ටිනා කණ්ඩායම වෙත තිබූ පීඩනය සිය උරමතට ගත් Lionel Messi විසින් තරගයේ පළමු ගෝලය වාර්තා කළ අතර, ඉන් පන්නරය ලැබූ විසි එක් හැවිරිදි Enzo Fernandez විසින් රැස් කළ ගෝලයත් සමඟින් ආජන්ටිනා ජය තහවුරු වුනා.

තරගයෙන් අනතුරුව ක්‍රීඩාගාරයේ දී සිය ජයග්‍රහණය සමරමින් සිටි ආජන්ටිනා ක්‍රීඩකයින්ගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය වල හුවමාරු වෙමින් පවතිනවා.

තරග ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ක්‍රීඩකයින්ගේ සැමරුම් විනා වෙන යම් දෙයක් එම වීඩියෝවේ පෙනෙන්නට නොතිබුනත්, තරග පරාජයෙන් කනස්සල්ලට පත් වී සිටි මෙක්සිකානු බොක්සිං ක්‍රීඩකයකු වන Canelo Álvarez විසින් එම වීඩියෝව හරහා දැක්කේ වෙනස්ම සිදුවීමක්!

Messi විසින් මෙක්සිකානු ජාතික කොඩියක් සහ මෙක්සිකන් ජර්සියක් බිම දමා පාගමින්, බිම පිරිසිදු කරනා බව තමන්ට එම වීඩියෝවෙන් පෙනෙන බව Twitter සටහනක් තබමින් Álvarez ප්‍රකාශ කළා.

“ඔබට පේනවා ද Messi අපේ ජර්සියකින් සහ ධජයකින් බිම පිහිදානවා කියලා. මාව හමු නොවෙන්න කියලා ඔහු දෙවියන් වහන්සේට යාච්ඤා කළොත් හොඳයි.

මම ආජන්ටිනාවට ගරු කරනවා වගේම ඔහු මෙක්සිකෝවට ගරු කළ යුතුයි. මම මේ මුළු රටටම විරුද්ධව නෙවෙයි කතා කරන්නේ, Messi කරපු දේ ගැනයි කියන්නේ.”

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<