Home Sinhala වෙල්ලාලගේ – අසලංකගේ පසුපෙළ ප්‍රහාරයෙන් ඇෆ්ගන් ක්‍රීඩකයින් මවිත වෙයි

වෙල්ලාලගේ – අසලංකගේ පසුපෙළ ප්‍රහාරයෙන් ඇෆ්ගන් ක්‍රීඩකයින් මවිත වෙයි

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

661

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා.

තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව 1-1ක් ලෙස තරගාවලිය සම කරමින් ICC එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනට තවත් ලකුණු 10ක් එකතු කර ගන්නට සමත් වුනා.

ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වුනා. ඒ අනුව පළමු එක්දින තරග දෙකම ක්‍රීඩා කළ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් සහ ලහිරු කුමාර වෙනුවට වමතින් දඟපන්දු යවන පිතිකරු දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු මේ තරගයට ක්‍රීඩා කළා.

ඇෆ්ගනිස්තානය එක් වෙනසක් කරමින් Yamin Ahmadzai වෙනුවට Noor Ahmad මේ තරගයට කැඳවා තිබුණු අතර 17 හැවිරිදි Ahmadගේ පළමු ජාත්‍යන්තර එක්දින තරගය මෙයයි.

මේ තරගය නව තණතීරුවක පැවැත්වුණු අතර පළමු තරග දෙකම ක්‍රීඩා කළ තණතීරුවට සාපේක්ෂව තරමක් වියලි සහ මන්දගාමී තණතීරුවක් මේ තරගය සඳහා සකස් කර තිබුණා.

තරගාවලියේ පළමු තරගය ඇෆ්ගනිස්තානය ලකුණු 60කින් ජය ගත් අතර දෙවැනි තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වුනා. ඒ වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසයි. ඒ අනුව 1-0ක් ලෙස ඇෆ්ගනිස්තානය තරගාවලියේ පෙරමුණ ගෙන සිටි නිසා මේ තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්ය වුනා.

එපමණක් නොව, ICC එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ හොඳම කණ්ඩායම් 8 අතරට ගොස් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථාව දැඩි අවදානම් මට්ටමක තිබෙන නිසා මෙතැන් පටන් ඉතිරිව තිබෙන එක්දින තරග 4ම ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතාමත් වටිනවා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම,

ශ්‍රී ලංකාව – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු

ඇෆ්ගනිස්තානය – Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi (C), Najibullah Zadran, Mohammad Nabi, Rashid Khan, Mujeeb Ur Rehman, Fazalhaq Farooqi, Riaz Hassan, Noor Ahmad

කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර Ibrahim Zadran දියත් කළ විශිෂ්ට සහ වාර්තාගත පිතිකරණය නිසාවෙන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 313ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් වාර්තා කළා.

Gurbaz සහ Ibrahim Zadran සුපුරුදු පරිදි ඇෆ්ගනිස්තාන ඉනිම ආරම්භ කළ නමුත් ඔවුන් බලාපොරොත්තු වුනු ආරම්භය ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ. ඒ රාජිත ආරම්භයේ පටන් ඉතාමත් හොඳ ඉලක්කයක් සහ වේගයක් සහිතව පන්දු යැවීම නිසයි.

නොකඩවා අර්ධ ශතක දෙකක් ලබාගෙන සිටි Gurbaz සහ Shahගේ කඩුලු දෙක පිළිවෙළින් ලකුණු 5කට සහ ලකුණු 22කට දවා ගනිමින් ඇෆ්ගනිස්තාන කඩුලු දඩයම ඉතාමත් ඉක්මනින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා. නායක Shahidi ලකුණු 4කට දවා ගන්නට ධනංජය ද සිල්වා සමත් වුනා.

කෙසේ නමුත් Najibullah සහ Ibrahim එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141ක් තුල වේගවත් ලකුණු 154ක සබඳතාවයක් ගොඩනංවමින් මන්දගාමී වෙමින් තිබුණු ඇෆ්ගනිස්තාන ලකුණු සටහනට සුපිරි ජීවයක් රැගෙන එන්නට සමත් වුනා.

එය ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් ඉතිහාසය තුල සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුනු හොඳම සබඳතාවය ලෙස ද වාර්තා පොත් අතරට ගියා. එහි දී Najibullah 4 පහර 8ක් සහ 6 පහරක් එල්ල කරමින් සිය එක්දින දිවියේ 15 වැනි අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 76ක් තුල ලකුණු 77ක් ලබාගෙනයි.

පන්දුවාර 36කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 200ක් ලබාගෙන සිටි ඇෆ්ගනිස්තාන කණ්ඩායම අවසන් පන්දුවාර 10 තුල ලකුණු 87ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කළා.

මේ තරගාවලිය තුල ලබා ගත් දෙවැනි ශතකය වාර්තා කළ 20 හැවිරිදි Ibrahim Zadran ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් ඉතිහාසය තුල ඉනිමක දී ක්‍රීඩකයෙක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගනිමින් ලකුණු 162ක් ලබා ගත්තා.

තෙවැනි එක්දින ශතකය අද දිනයේ දී වාර්තා කර ගත් ඔහුගේ මේ මනරම් ඉනිමට 4 පහර 15ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනා. පන්දු යැවීමේ දී රාජිත කඩුලු 3ක් දවාගන්නා විට, හසරංග කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 314ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යන ගමනට සාර්ථක ආරම්භයක් එක් කරමින් මෙන්ඩිස් සහ නිස්සංක එක්ව පළමු කඩුල්ලට ශතක සබඳතාවයක් ගොඩනැංවූවා.

පන්දු 108ක් තුල වාර්තා වුනු මේ ලකුණු 101 සබඳතාවය වර්ධනය කිරීමේ දී කඩුලු රැකීම පිතිකරු මෙන්ඩිස් පන්දු 67ක දී ලකුණු 61ක් ලබාගෙන දස්කම් දැක්වූවා. ඔහුගේ ඉනිම 4 පහර 8කින් සහ 6 පහරකින් අලංකාරවත් වුනු අතර එය ඔහුගේ එක්දින දිවියේ ලබා ගත් 20 වැනි අර්ධ ශතකයයි. අනෙක් අන්තයෙන් ස්ථාවර වෙමින් සිටි නිස්සංක (ලකුණු 35) ද මෙන්ඩිස් දැවී ගොස් පන්දු කිහිපයකට පසුව දැවී ගියා.

පන්දුවාර 22කුත් පන්දු 3ක් අවසානයේ දී ලකුණු 116/3ක් ලෙස සටහන් වුනු ශ්‍රී ලංකා ඉනිම නැවතත් ගොඩනැංවමින් අසලංක සහ චන්දිමාල් පන්දු 48ක දී ලකුණු 48ක සබඳතාවයක් ගොඩනැංවූවා.

එම සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට ලකුණු සටහනේ ස්ථාවරත්වය ලබා ගැනීමට හැකි වුනා. චන්දිමාල්ගේ දැවී යාමට පසුව නායක ශානක සහ අසලංක පන්දු 68ක දී වේගවත් ලකුණු 79ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහන නැවතත් ජයග්‍රාහී මාවතට රැගෙන එන්නට සමත් වුනා.

පන්දු 44ක දී ලකුණු 43ක් ලබාගෙන මැදපෙළ ස්ථාවර කරමින් සිටි ශානක Rashid Khanගේ සුපිරි ගුග්ලි පන්දුවක් හමුවේ දැවී ගිය පසුව අනෙක් අන්තයේ සිටි අසලංක මත වැඩි බරක් පැටවුනා.

හසරංගගේ දැවී යාමට පසුව පිටියට පැමිණි වෙල්ලාලගේ සමඟ එක්වුණු අසලංක 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39ක් තුල වේගවත් ලකුණු 65*ක සබඳතාවයක් ගොඩනැංවූයේ තරගය නැරඹීමට පැමිණි සිටි සියලුම ප්‍රේක්ෂකයින් මවිත කරමින්.

අසලංක සිය ප්‍රහාරය දියත් කරමින් සිටිය දී අවසන් මොහොතේ දී ඔහුගේ පාදයේ මස් පිඩු ඇදීමක් සිදු වූ නමුත් වෙල්ලාලගේ අනෙක් අන්තයෙන් අසලංකගේ පීඩනය අවම කරමින් පන්දු 21ක් තුල වේගවත් ලකුණු 31*ක් ලබාගෙන ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කිරීමට සහය වුනා.

අවසානයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර 49කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 314 ඉලක්කය හඹා ගිය අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකාව තුල දී හඹා ගොස් ජය ගත් වැඩිම ලකුණු ප්‍රමාණය සහිත එක්දින තරගය ලෙස ද වාර්තා අතරට එකතු වුනා.

මෙය අසලංක ලබා ගත් 7 වැනි ජාත්‍යන්තර එක්දින තරග අර්ධ ශතකය වුනු අතර පන්දු 72ක දී වාර්තා වුනු ඔහුගේ එම සුපිරි ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනා. පන්දු යැවීමේ දී Rashid ලකුණු 37කට කඩුලු 4ක් දවාගෙන සුපිරි දස්කමක් දැක්වූවා.

  • තරගයේ වීරයා – චරිත් අසලංක (ශ්‍රී ලංකාව)

Result


Sri Lanka
314/6 (49.4)

Afghanistan
313/8 (50)

Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz b Kasun Rajitha 5 12 1 0 41.67
Ibrahim Zadran c Pathum Nissanka b Asitha Fernando  162 138 15 4 117.39
Rahmat Shah c Kusal Mendis b Kasun Rajitha 22 30 4 0 73.33
Hashmatullah Shahidi lbw b Dhananjaya de Silva 4 10 0 0 40.00
Najibullah Zadran c Dasun Shanaka b Wanidu Hasaranga 77 76 8 1 101.32
Mohammad Nabi c Pathum Nissanka b Wanidu Hasaranga 12 12 1 0 100.00
Gulbadin Naib run out (Maheesh Theekshana) 8 11 0 0 72.73
Rashid Khan c Dinesh Chandimal b Kasun Rajitha 13 10 1 0 130.00
Noor Ahmad not out 2 1 0 0 200.00


Extras 8 (b 1 , lb 3 , nb 0, w 4, pen 0)
Total 313/8 (50 Overs, RR: 6.26)
Bowling O M R W Econ
Kasun Rajitha 10 0 60 3 6.00
Maheesh Theekshana 7 0 46 0 6.57
Dunith Wellalage 4 0 25 0 6.25
Asitha Fernando  10 1 64 1 6.40
Dhananjaya de Silva 8 0 42 1 5.25
Wanidu Hasaranga 10 0 67 2 6.70
Dasun Shanaka 1 0 5 0 5.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Rashid Khan 35 55 3 0 63.64
Kusal Mendis c Rashid Khan b Mohammad Nabi 67 61 8 1 109.84
Dinesh Chandimal b Mohammad Nabi 33 32 2 1 103.12
Dhananjaya de Silva b Rashid Khan 5 11 1 0 45.45
Charith Asalanka not out 83 72 5 4 115.28
Dasun Shanaka b Rashid Khan 43 44 5 0 97.73
Wanidu Hasaranga c Rahmanullah Gurbaz b Rashid Khan 2 3 0 0 66.67
Dunith Wellalage not out 31 21 4 1 147.62


Extras 15 (b 0 , lb 1 , nb 1, w 13, pen 0)
Total 314/6 (49.4 Overs, RR: 6.32)
Bowling O M R W Econ
Fazal Haq Farooqi 9.4 0 70 0 7.45
Mujeeb ur Rahman 10 0 70 0 7.00
Gulbadin Naib 6 0 48 0 8.00
Mohammad Nabi 10 0 56 2 5.60
Rashid Khan 10 0 37 4 3.70
Noor Ahmad 4 0 32 0 8.00



ඇෆ්ගනිස්තානය සහ 2023 ICC ලෝක කුසලානයේ සත්කාරක රට වන ඉන්දියාව සමඟ සමස්ත කණ්ඩායම් 7ක් දැනටමත් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලබාගෙන තිබෙන අතර සෘජුව සුදුසුකම් ලබා ගැනීම සඳහා තිබෙන අවසන් ස්ථානය සඳහා බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය සටන් කරනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<