සාරංගි සහ ශ්‍රේෂන් තුර්කියට

166

ශ්‍රී ලංකාව නියෝජනය කරන මලල ක්‍රීඩක ශ්‍රේෂන් ධනංජය සහ ක්‍රීඩිකා සාරංගි ද සිල්වා තුර්කියට ගොස් එහි දී දින 30ක විශේෂ පුහුණුවකට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම වසරේ මුල සිට කටාර් හී පුහුණුව ලැබීම ආරම්භ කළ මොවුන් දෙදෙනා පසුගිය දෙසැම්බර් මාසයෙන් පසු කිසිදු ප්‍රධාන මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වී නොමැති නමුත් තුර්කියේ දී තරගාවලි 3ක් සඳහා ඔවුන් සහභාගී වීමට නියමිත බව වාර්තා වෙනවා.

අවසන් වරට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මෙරට පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවය නියෝජනය කළ මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හරහා ලැබුණු විශේෂ ශිෂ්‍යත්වයක් යටතේ කටාර් හී පුහුණුවකට පිටත්ව යන ලදි.

මේ වන විට 24 වැනි වියේ පසුවන සාරංගි ද සිල්වා 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දුර පැනීම ඉසව්ව මීටර් 6.38ක දක්ෂතාවයක් දක්වමින් ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර 2020 ජාතික ශූරතාවයේ දී මීටර් 6.33ක දස්කමක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට ද ඇය සමත් වුනා.

කෙසේ නමුත් ජාතික ශූරතාවයෙන් පසු කිසිදු ප්‍රධාන පෙළේ තරගාවලියකට සහභාගි වී නොමැති නිසාවෙන් සාරංගි ඔලිම්පික් ප්‍රසාද ලකුණු සටහනට ඇතුළත්ව නොමැති අතර ඇය හට ඔලිම්පික් වරම් දිනා ගැනීමට නම් අවම වශයෙන් ප්‍රධාන පෙළේ තරගාවලි ත්‍රිත්වයක ඉහළ දස්කම් දැක්වීමට හෝ ඔලිම්පික් පරිසාධන සීමාව වන මීටර් 6.82ක සීමාව පසු කිරීමට සිදු වනු ඇත. 

තවත් මලල ක්‍රීඩා පුවත්:

තුන් පිම්ම ඉසව්වේ මීටර් 16.71ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට සමත් වූ ශ්‍රේෂන් ධනංජය වත්මන් ඔලිම්පික් වර්ගීකරණයේ 61 වැනි ස්ථානයේ පසුවේ. 

ප්‍රසාද ලකුණු මත ඔලිම්පික් වරම් ලබා ගැනීමට නම් ඔහුට ඉදිරි තරගාවලි කිහිපයක ඉහළ දස්කම් දක්වමින් මුල් ක්‍රීඩකයන් 32 අතරට පැමිණීමට සිදු වන අතර එසේත් නොමැති නම් ඔලිම්පික් පරිසාධන සීමාව වන මීටර් 17.14ක දුර තරණය කිරීමට ඔහුට හැකි විය යුතුයි.

කෙසේ නමුත් ඔලිම්පික් පරිසාධන කාලසීමාව අවසන් වීමට තවත් ඇත්තේ දින 12ක කෙටි කාලයක් පමණි. ඔලිම්පික් පරිසාධන කාලය ජුනි 29 වැනිදායින් අවසන් වේ.

Ceylon Today පුවත්පත ඇසුරෙනි

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<