ඉන්දීය ටෙස්ට් නායකයාට කොරෝනා

ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021/22

246

වත්මන් ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායක Rohit Sharma හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එලෙස ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟ ඔහුට ජූලි 01 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගයට සහභාගී වීම පිළිබඳව ගැටලුවක් පැන නැගෙන අතර ඔහු දින 5ක නිරෝධායන කාලසීමාවකට යටත් විය යුතුයි.

කණ්ඩායමේ උපනායක KL Rahul ද ආබාධයකට ලක්ව සිටීම නිසාවෙන් ඔහුට ද එංගලන්ත ටෙස්ට් තරගය මගහැරෙන අතර යම්හෙයකින් Sharmaට ටෙස්ට් තරගයට සහභාගී වීමට අවස්ථාව හිමි නොවුනොත් ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කා හට හිමි වේ දැයි තවමත් ප්‍රකාශ කර නැහැ.

කණ්ඩායමට නම් කර සිටි අත්දැකීම් බහුල ක්‍රීඩක R Ashwin හට ද කොරෝනා වයිරසය ආසාදනය වීම නිසාවෙන් ඔහුට ද මෙම තරගයට සහභාගී වීම අවිනිශ්චිත වී ඇති අතර එම නිසාවෙන් කණ්ඩායමේ වැඩ බලන නායකත්වය හිටපු නායක Virat Kohli නායකයා ලෙස නම් කරන්නේ ද යන්න පිළිබඳව තවමත් ප්‍රකාශ කර නැහැ.

“ඉන්දීය ටෙස්ට් නායක Rohit Sharma හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට Rapid Antigen පරීක්ෂාවේ දී තහවුරුව තිබූ අතර දැනට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටින ඔහු PCR පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතයි”, යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටියා.

මේ දිනවල පැවැත්වෙන එංගලන්තය සහ නවසීලන්තය අතර තරගාවලියට ද සහභාගී වූ ක්‍රීඩකයින් කිහිපයකට කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ අතර ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් නිසා Ben Foakes හට ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගය අවිනිශ්චිතව ඇත.

කොරෝනා වසංගතය නිසාවෙන් ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් තරගාවලිය කල්දැමීමට තීරණය කරන විට 2-1ක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසු වූ අතර අවසන් තරගය ජූලි 01 වැනිදා පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<