ප්‍රංශය ‘රතු යක්ෂයින්’ ලෝක කුසලානයෙන් එලවා දමයි

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 2018

967

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසාන පූර්ව තරගය ඊයේ (10) ප්‍රබල බෙල්ජියම හා ප්‍රංශය අතර පැවති අතර තරග 23ක් පුරා අපරාජිතව සිටි බෙල්ජියම් කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් යොවුන් ප්‍රංශ කණ්ඩායම ලෝක කුසලානයේ අවසාන මහා තරගයේ සිය ස්ථානය වෙන් කරගැනීමට සමත් විය. තරගය සාන්ත පීටර්ස්බර්ග් හි සාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ඒ අනුව බෙල්ජියම් කණ්ඩායම ලබන සෙනසුරාදා තෙවන ස්ථානය සඳහා පැවත්වෙන තරගය සඳහා සහභාගී වනු ඇත.

බෙල්ජියම් කණ්ඩායම ප්‍රබල බ්‍රසීලය පරාජය කරමින් අවසන් පූර්ව තරගයට පිවිසුණු අතර ප්‍රංශ කණ්ඩායම උරුගුවේ කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව තරගයේ සිය ස්ථානය වෙන්කරගන්නා ලදි.

පළමු මිනිත්තුවේ සිට කණ්ඩායම් දෙකම ප්‍රබල, ආක්‍රමණකාරී ක්‍රීඩා විලාසයක් දියත් කළ අතර පළමු අර්ධයේ කණ්ඩායම් දෙකම ගෝල රැස්කර ගැනීමට සමත් වූයේ නැත. විශේෂම කරුණ නම් මෙවර ලෝක කුසලානයේ ගෝල හතරක් රැස් කරගෙන සුපිරි රිද්මයක සිටි බෙල්ජියමේ සුපිරි ක්‍රීඩක ලුකාකු හට ප්‍රහාරයක් සඳහා ප්‍රංශ ක්‍රීඩකයින් කිසිදු අවස්ථාවක් ලබා නොදීමයි.

පළමු අර්ධය පුරා බෙල්ජියම පන්දුව සමඟ ආක්‍රමණයන් සඳහා උත්සහ කළ අතර පන්දුව රහිතව ක්‍රීඩා කිරීමට සතුටු වූ ප්‍රංශ ක්‍රීඩකයෝ අවස්ථාව ලද විගස MBAPPE හා GIROUD මගින් ඉතා ප්‍රබල ප්‍රතිප්‍රහාර දියත් කළහ.

12 වන මිනිත්තුවේ දී බෙල්ජියම් ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙකු මැද්දෙන් POGBA ප්‍රංශ යොවුන් තරුව MBAPPE වෙත පන්දුව යොමු කළ අතර ඔහු පන්දුවට ළඟා වීමට පෙර, දිනය පුරා ඉතා හොඳින් ක්‍රීඩා කළ බෙල්ජියම් ගෝල රකින්නා COURTOIS දක්ෂ ලෙස පන්දුව රැක ගැනීමට සමත් විය.

බෙල්ජියම වෙනුවෙන් මේ තරගාවලිය පුරා මහත් වෙහෙසක් දැරූ නායක HAZARD බෙල්ජියම වෙනුවෙන් පළමු ආසන්න අවස්ථාව උදා කරගත් අතර ඔහුගේ ප්‍රහාරය ගෝල රකින්නා ද, ගෝල රාමුව ද මග හරිමින් බිම දිගේ ඉවත ගියේ ඉතා ආසන්න අවස්ථාවක් අපතේ හරිමිනි.

තරගය පුරා ගෝලයක් ලබා ගැනීමට HAZARD ඉමහත් වෙහෙසක් දරන ලදී

17 වන මිනිත්තුවේ දී ක්‍රියත්මක වූ ප්‍රංශ ක්‍රීඩකයෝ HAZARDගේ ආක්‍රමණයට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර Blaise Matuidiගේ ප්‍රහාරයක් ඉලක්කය වැරදි කෙළින්ම බෙල්ජියම් ගෝල රකින්නා අතට ගියේ ප්‍රංශයට ඉතා ආසන්න අවස්ථාවක් අහිමි කරමිනි.

21 වන මිනිත්තුවේ දී බෙල්ජියමට හිමිවූ corner අවස්ථාවක් චතුරශ්‍රයෙන් ඉවතට යොමු කිරීමට යාමේ දී ප්‍රංශ අරක්ෂයෙකු අතින් පන්දුව බෙල්ජියමේ Toby Alderweireld හට යොමු වුණු අතර චතුරස්‍රයේ මැද සිට Toby එල්ල කළ ප්‍රහාරය ප්‍රංශ ගෝල රකින්නා Hugo Lloris වැළැක්වූයේ බෙල්ජියමට නිසැක ගෝලයක් අහිමි කරමිනි.   

Hugo Lloris කිහිප වතාවක්ම බෙල්ජියම් ක්‍රීඩකයන් හිස් අතින් හරවා යවන්නට සමත් විය.

දිගින් දිගටම බෙල්ජියම් ක්‍රීඩකයින් ආක්‍රමණයේ යෙදුණු නමුත් ලද අවස්ථාවල දී ඉතා වේගවත් ආක්‍රමණ දියත් කළ ප්‍රංශ ක්‍රීඩක MBAPPE දක්ෂ ධාවනයක යෙදී පන්දුව හරස් පන්දු යොමු කිරීමකින් Olivier Giroud වෙත යොමු කළත්, නිසි වේලාවට පන්දුවට පැමිණීමට ඔහු සමත් වූයේ නැත.

Olivier Giroud අතින් අවස්ථා රාශියක් ගිලිහිණි

පළමු අර්ධයේ අවසානයට ආසන්නයේ බෙල්ජියම් ආරක්ෂක වළල්ලෙන් මිදුණු PAVARD ගෝල රකින්නා පමණක් සිටි දැල වෙත ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ අතර බෙල්ජියම් ගෝල රකින්නා ක්ෂණිකව එම ඉතා ආසන්න අවස්ථාව ගෝල රාමුවෙන් ඉවතට යැවීමට සමත් විය.

පළමු අර්ධය: බෙල්ජියම 00 – 00 ප්‍රංශය

දෙවන අර්ධය ආරම්භයේ තරගයේ පළමු වතාවට සුපිරි බෙල්ජියම් ක්‍රීඩක ලුකාකු හට ප්‍රහාරයක් සඳහා පන්දුව හිමිවූ නමුත් පන්දුව නිසි ඉලක්කයට යොමු කිරීමට ඔහු සමත් වූයේ නැත.

අනතුරුව ගතවූ මිනිත්තු කිහිපයේ දී බෙල්ජියමෙන් පන්දුව උදුරාගත් ප්‍රංශ ක්‍රීඩකයෝ ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර corner අවස්ථාවකින් ගුවනේ ආ පන්දුව බෙල්ජියම් ක්‍රීඩක FELLINI මැඩලමින් ඉහළ නැගුණු බාසිලෝනා ආරක්ෂක ක්‍රීඩක Samuel Umtiti ගෝල රකින්නා පසුකරමින් දැල තුලට යැව්වේ ජයග්‍රාහී ප්‍රංශ ගෝලය 51 වන මිනිත්තුවේ දී වාර්තා කරමිනි.

තමන් වාර්තා කළේ තරගයේ ජයග්‍රාහී ගෝලය බව umtiti ඒ අවස්ථාවේ දී කිසි ලෙසටවත් නොසිතන්නට ඇත

Kylian Mbappe හට පන්දුව ලැබුණු සෑම අවස්ථාවකම පාහේ ඔහු ඉතා වේගයෙන් ධාවනයේ යෙදුණු අතර අද වෙනස්ම ක්‍රීඩා රටාවක නිරත වූ GRIEZMANN ඉදිරිපෙළ සිට මෙන්ම සිය ආරක්ෂක ක්‍රීඩකයින් දක්වා ද පසුපසට එමින් කණ්ඩායමේ ක්‍රීඩා රටාව භාරගෙන ක්‍රීඩා කළේය.

ගෝලයක් ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රංශ ක්‍රීඩකයෝ ආක්‍රමණය අතහැර නැවත ආරක්ෂක ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ අතර 60 වන මිනිත්තුවේ දී Kevin de Bruyneගේ ප්‍රබල ප්‍රහාරයක් VARNEගේ හිසේ වැදී ඉවත ගියේ ප්‍රංශ ක්‍රීඩකයින්ට සැනසුම් සුසුම් ගෙනෙමින්.

64 වන මිනිත්තුවේ දී හරස් පන්දු යොමු කිරීමකින් ලැබුණු පන්දුව හිසෙන් දැල වෙත යොමු කිරීමට FELLINI ප්‍රබල උත්සහයක් දැරූ අතර ඔහුගේ හිසේ ගැටුණු පන්දුව ගෝල රාමුව මග හරිමින් ඉවත ගියේ නූලෙනි.

බෙල්ජියම් ක්‍රීඩකයින් ගෝලයක් සඳහා අවසන් මිනිත්තු කිහිපයේ දී ආක්‍රමණ පසුපස ආක්‍රමණ දියත් කළ අතර 80 වන මිනිත්තුවේ දී FITSEL චතුරශ්‍රය පිටත සිට එල්ල කළ කවාකාර අලංකාර ප්‍රහාරයක් දක්ෂ ලෙස ව්‍යර්ථ කරන්නට Hugo Lloris සමත් විය.

තරගාවලියේ සාර්ථකම කණ්ඩායමක් වූ බෙල්ජියම ලබන සෙනසුරාදා ක්‍රොඒෂියාව සමඟ හෝ එංගලන්තය සමඟ තෙවන ස්ථානයට තරග වදිනු ඇත.

ජපන් තරගයේ දී මෙන් අවසන් මොහොතේ වික්‍රමයක් සඳහා බෙල්ජියම් ක්‍රීඩකයින් ප්‍රබල උත්සහයක් ලබා දුන් නමුත් කාලය කා දමමින් උපක්‍රමශීලීව ක්‍රීඩා කළ ප්‍රංශ ක්‍රීඩකයෝ අපහසුවකින් තොරවම අවසන් මහා තරගයේ වරම් හිමි කරගත්තේ තරගාවලියේ සාර්ථකම කණ්ඩායමක් වූ බෙල්ජියම් සිහින බොඳ කරමිනි.

අවසාන ලකුණු තත්වය: ප්‍රංශය 01 – 00 බෙල්ජියම

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • ප්‍රංශය – Umtiti 51’

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<