දිමුත්, චමීර, වනිඳු නැවත කරළියට ආ ඇෆ්ගනිස්තාන මෙහෙයුම

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

223
Afghanistan Tour of Sri Lanka 2023 Review

සංචාරක ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

එම තරගාවලි ජයග්‍රහණයේ දී වසර 2කට පසුව එක්දින ජාත්‍යන්තර පිටියට පිවිසි දිමුත් කරුණාරත්න, වසරකට පසුව එක්දින ජාත්‍යන්තර පිටියට පිවිසි එක් වූ දුෂ්මන්ත චමීර සහ එක්දින තරග පිටියේ අතරමං ව සිටි වනිඳු හසරංග දක්ෂතා දැක්වීම කැපී පෙණුනා.

මේ වෙද්දීත් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් සෘජුව ම සම්බන්ධ වීමේ සුදුසුකම් සපුරා සිටින ඇෆ්ගනිස්තානය හමුවේ ලත් මේ ජයග්‍රහණය, ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමනට මානසික සහනයක් ලෙසින් දැකිය හැකි.

විශේෂයෙන් ම ඔවුන්ට මේ මස 19 වැනිදා සිට සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට එක් වීමේ සුදුසුකම් සපුරා ගැනීමේ තරගාවලියට සහභාගී වීමට සිදුව තිබෙනවා. එහි දී එම තරගාවලියේ අවසන් කණ්ඩායම් 2 අතරට පිවිසීම ඔවුන්ගේ ප්‍රමුඛතම අභියෝගය වී තිබෙනවා.

මේ වන විට කල්-යල් බලන ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින දක්ෂතා ලෝක මට්ටමෙන් ශ්‍රේණිගතව ඇත්තේ ඇෆ්ගනිස්තානයටත් පහළින්. එසේ වූ තත්ත්වයක දී ඔවුන්ට එරෙහිව ලත් මෙම ජයග්‍රහණය ඉහත අභියෝගයට ජීවය එක් කරන තරගාවලියක් ලෙසින් නිමා වීම පැසසිය යුතුයි.

තරගාවලිය නිමා වූ ආකාරය

  • පළමු තරගය – ඇෆ්ගනිස්තානයට කඩුලු 6ක ජයක්.
  • දෙවැනි තරගය – ශ්‍රී ලංකාවට ලකුණු 132ක ජයක්.
  • තෙවැනි තරගය – ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්.

ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර නිමා වූ එක්දින තරගාවලිවල දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර මෙරට දී ම 2022 වසරේ නොවැම්බර් මාසයේ දී පැවති තරග 3කින් යුත් තරගාවලිය නිමා වූයේ 1-1ක් ලෙස සමවීමෙන්.

එම තරගාවලියේ පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කරන අතර තෙවැනි සහ අවසන් තරගයෙන් ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකාවයි. පැවති දෙවැනි තරගය වර්ෂාවට බිලි වෙමින් විසඳුමකින් තොරව අවසන් වෙනවා.

ඒ කෙසේ වෙතත් මේ වෙද්දී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරග 10ක් පවත්වා ඇති අතර ඒ අතරින් තරග 6ක් ජයග්‍රහණය කරමින් දක්ෂතා අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. ඇෆ්ගනිස්තානය ජය ගත් තරග සංඛ්‍යාව 3ක් වන අතර එක් තරගයක් නොවිසඳුණ තරග අතරට එක් වෙනවා.

නිමා වූ තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ආ ගමනේ දී වැඩිම ලකුණු ලබා ගැනීමේ ගෞරවය හිමි කර ගත්තේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක. ඔහු තරග 3ක ඉනිම් 3ක දී ලකුණු 132ක් ලබා ගත්තා. ඊට අවසන් තරගයේ දී පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 51ක් ද ඇතුළත්.

පැතුම්ගේ එක්දින තරග ඉතිහාසයේ හොඳම තරගාවලි අතර තෙවැනි ස්ථානයට පත් වීමට මෙම තරග ත්‍රිත්වය හේතු වුනා. ඔහුගේ තරගාවලියක හොඳම දක්ෂතාව වූයේ 2022 වසරේ ජුනි මාසයේ දී මෙරට සංචාරයක යෙදුණ ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 5ක ඉනිම් 5කට සහභාගී වෙමින් ලබා ගත් ලකුණු 222යි.

තරග ත්‍රිත්වයකින් යුත් තරගාවලියක ඔහුගේ හොඳම දක්ෂතාව වූයේ 2022 වසරේ ජනවාරියේ මෙරට දී පැවති සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරගාවලියේ දී ඉනිම් 3ක දී ලබා ගත් ලකුණු 146යි.

වසර දෙකක පමණ කාලයකට පසු එක්දින ජාත්‍යන්තර පිටියට පිවිසි දිමුත් කරුණාරත්න ද නිමා වූ තරගාවලියේ දී තමන් ද එක්දින තරග රටාවේ දක්ෂතා දැක්විය හැකි ක්‍රීඩකයෙක් බැව් ඔප්පු කළා. ඔහු නිමා වූ තරග 3 දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 112ක් වාර්තා කළා. එය දිමුත් ද්විත්ව රටවල් අතර තරගාවලියක දී දැක් වූ ඉහළ ම දක්ෂතාවයි.

ඊට පෙර ඔහු ද්විත්ව රටවල් අතර තරගාවලියක දී වාර්තා කර තිබුණේ තරග 3ක ඉනිම් 3ක දී ලකුණු 97ක් පමණයි. ඒ 2019 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව සහ 2020 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි.

ඔවුන් දෙදෙනාට පසුව මෙම ලැයිස්තුවේ වැඩිම ලකුණුලාභියා වූයේ කුසල් මෙන්ඩිස්. ඔහු නිමා වූ තරග ත්‍රිත්වයේ දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 100ක් ලබා ගන්නවා. එම ලකුණු අතරට දෙවැනි එක්දින තරගයේ දී පන්දු 75කට මුහුණ දෙමින් ලබා ගත් ලකුණු 78ක් ද ඇතුළත්. එය මෙරට ක්‍රීඩකයෙක් මෙම තරගාවලියේ දී ඉනිමක දී ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා වුනා.

ඒ කෙසේ වෙතත් කුසල් ත්‍රිත්ව තරගාවලියක දී ලකුණු 100ක් වාර්තා කළේ වසර තුනකට පසුව වීමත් විශේෂත්වයක්. ඔහු අවසන් වරට ලකුණු 100ක් අභිබවා වාර්තා කළේ 2020 වසරේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි. එහි දී ඔහු ශතකයක් සහ අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 194ක් ලබා ගන්නවා.

එම තරගාවලියෙන් පසුව කුසල්, බංග්ලාදේශය (2021), සිම්බාබ්වේ (2022), ඇෆ්ගනිස්තානය (2022), ඉන්දියාව (2023) සහ නවසීලන්තය (2023) යන රටවල් සමඟ තරගාවලිවලට එක් වූව ද ලකුණු 100ක් අභිබවා ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ.

එසේ වූවත් ඔහු 2022 වසරේ ජුනි මාසයේ දී මෙරට පැමිණි ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව තරග 5ක ඉනිම් 5ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 249ක් ලබා ගන්නවා. එම තරගාවලියේ දී ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 83.00ක්.

මෙම පිතිකරුවන් තිදෙනාට අමතර ව චරිත් අසලංක තරග 3ක ඉනිම් 2ක දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 97ක් ද සහ ධනංජය ද සිල්වා තරග 3ක ඉනිම් 3ක දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 80ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

පන්දු යැවීමේ දී දක්ෂතා දැක්වූවන් අතර පෙරමුණ ගැනීමට වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමිර සමත් වෙනවා. ඔවුන් දෙදෙනා තරග දෙක බැගින් සහභාගී වී කඩුලු 6ක් බැගින් දවා ගන්නවා.

වනිඳු මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ පිට පිට ම තරග 5ක දී කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට නොහැකි වීමේ අවාසනාවන්ත මතකයන් සමඟයි. නමුත් වනිඳු තමන් සහභාගී වූ තරග 2 දී පන්දුවාර 13.2ක් යවමින් ලකුණු 49ක් පමණක් ලබා දෙමිනුයි මේ දක්ෂතාව කරන්නේ. වනිඳුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ තරගාවලියක දී හොඳම පන්දු යැවීම් අතර මෙම දක්ෂතාව ලැයිස්තුගත වෙන්නේ දෙවැනි තරගය ලෙසයි.

වනිඳු ද්විත්ව තරගාවලියක දී දැක් වූ ඉහළ ම දක්ෂතාව වන්නේ 2017 දී තම මංගල තරගාවලියේ දී තරග 3ක දී ලබා ගත් කඩුලු 8යි. ඔහු ඒ වෙනුවෙන් පන්දුවාර 15.4ක් යවනු ලැබූ අතර ප්‍රතිවාදී සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට ලකුණු 99ක් ලබා දෙනවා.

වසරක පමණ කාලයක් එක්දින පිටියේ නොසිටි චමීර මෙවර තමන් සහභාගී වූ තරග 2 දී පන්දුවාර 16ක් යවනු ලැබූ අතර ප්‍රතිවාදීන්ට ලකුණු 81ක් ලබා දෙනවා. කෙසේ වෙතත් මෙම තරගාවලියේ දී මෙරට ක්‍රීඩකයන් අතරින් ඉනිමක හොඳම පන්දු යැවීමේ ගෞරවය දිනා ගැනීමට ද චමීර සමත් වෙනවා.

ඒ දෙරට අතර පැවති අවසන් තරගයේ දී ලකුණු 63කට කඩුලු 4ක් දවා ගනිමින් පෑ දක්ෂතාවයි. මෙම දක්ෂතාවත් සමඟින් ඔහු තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 50 වැනි කඩුල්ල ද ලබා ගැනීමට සමත් වෙනවා. එමෙන් ම අවසන් තරගයේ වීරයා මෙන් ම තරගාවලියේ වීරයා ලෙසින් ද නම් කෙරෙන්නේ චමීරයි.

අනෙකුත් පන්දු යවන්නන් අතරින් ලහිරු කුමාර සහ ධනංජය ද සිල්වා කඩුලු 3 බැගින් දවා ගන්නවා.

මෙම තරගාවලියේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගන්නා මතීෂ පතිරණට ලබා ගත හැකි වන්නේ එක් කඩුල්ලක් පමණක් වන අතර ඔහු ඒ සඳහා පන්දුවාර 8.5ක් යවනු ලබනවා. එමෙන් ම තම මංගල එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වූ දුශාන් හේමන්ත පන්දුවාර 9ක් යැවුව ද ඔහුට කඩුල්ලක් ලබා ගැනීමට අවස්ථාවක් උදා වූයේ නැහැ.

ඇෆ්ගනිස්තානය හමුවේ පළමු තරගයේ දී ලත් පරාජය සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි තරගයේ සිට තරගාවලියට අවතීර්ණ වූ ආකාරය පැසසිය යුතුයි. විශේෂයෙන් ම සෑම ක්‍රීඩකයෙක් ම තම තමන්ගේ සේවය අඩුවක් නොමැතිව තම කණ්ඩායම ලබා දීමට ගත් වෙහෙස ප්‍රශංසනාත්මකයි.

පන්දුවට පහර දීමෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් ද එකසේ දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු තරගයේ වූ දුර්වලතා වහා සමනය කර ගැනීමට සමත් වීම එළඹෙන සංචාරයේ පළමු තරගයේ සිට ම කළ යුත්තක්. තවමත් එම සංචාරයේ කණ්ඩායම මෙතෙක් නම් කර නොතිබුණ ද ඇෆ්ගනිස්තානයට එරෙහිව නිමා වූ තරගාවලියට එක් වූ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් ම එම කණ්ඩායමේ අසුන් වෙන්කර ගනු ඇතැයි විශ්වාස කළ හැකියි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<