වර්ෂාව නොතකා CR ආරක්ෂක වළලු බිඳගෙන සොල්දාදුවන් ඉදිරියට

1164

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිව්වැනි සතියේ තරගයක් ලෙස CR & FC කණ්ඩායමත්, යුධ හමුදා  ක්‍රීඩා සමාජයත් අතර තරගය අද (25) කොළඹ CR & FC පිටියේ දී පැවැත්වුණු අතර එහි දී ලකුණු 24-10ක් ලෙසින් තරගය ජය ගැනීමට යුධ හමුදා ක්‍රීඩකයන් සමත් විය.

රීසා CH සිහින බොඳ කරයි

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිව්වැනි සතිය ආරම්භ කරමින් CH & FC කණ්ඩායමත්, හැව්ලොක් ක්‍රීඩා…

දැඩි වර්ෂාව සහ තරමක් අඳුරු පැහැති ආලෝක තත්ත්වයක් යටතේ සවස 3.45ට ආරම්භ වූ තරගයේ මුල් මිනිත්තු කිහිපය තුළ දී පිටිය තුළ තම අණසක පතුරවන්නට යුධ හමුදා කණ්ඩායම සමත් වූ අතර පිටියේ ලිස්සන සුළු භාවය මනාව අවබෝධ කරගෙන පන්දුව තමා වෙත රඳවා ගනිමින් ඔවුන් ක්‍රීඩාවේ යෙදෙනු දක්නට ලැබුණි.

නමුත් තරගයේ 19 වන මිනිත්තුවේ දී කිසිවෙක් බලාපොරොත්තු නොවූ මොහොතක තරගයේ වාසිය තමා වෙත හරවාගත් CR & FC කණ්ඩායමේ ඔමල්ක ගුණරත්න යුධ හමුදා ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් තමා වෙත රඳවා ගනිමින් තරින්ද රත්වත්තේ වෙත යොමු කළ පන්දුව රත්වත්ත විසින් සෂාන් මොහොමඩ් වෙත යොමු කළ අතර සෂාන්ගේ වේගය නවතාලීමට යුධ හමුදා ආරක්ෂකයින් සමත් වූයේ නැත. ඒ අනුව තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් ඉදිරියට පැමිණීමට CR & FC කණ්ඩායම සමත් වූ නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්ත සමත් වූයේ නැත (CR & FC 05 – 00 යුධ හමුදාව).

CR & FC කණ්ඩායම එසේ ලකුණු රැස් කිරීම සිදු කළ ද තමන් විසින් එල්ල කළ පීඩනය දිගින් දිගටම රඳවා ගත් යුධ හමුදා කණ්ඩායම තරගයේ 38 වන මිනිත්තුවේ දී තරගයට පිවිසියේ සුගත් නානායක්කාරගේ උත්සාහක දිනුමත් සමඟිනි. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ගයාන් සාලින්ද අසමත් විය (CR & FC 05 – 05 යුධ හමුදාව)

තරගයේ පළමු අර්ධය නිමා වීමට ඉතා ආසන්නව තිබිය දී, 40 වන මිනිත්තුවේ දී CR & FC කණ්ඩායමේ ආරක්ෂක වළල්ල මුළා කරමින් යුධ හමුදා කණ්ඩායමේ අෂාන් බණ්ඩාර වාර්තා කළ උත්සාහක දිනුම නිසා පළමු අර්ධය අවසාන වන විට තරගයේ පාලනය යළිත් සියතට ගැනීමට යුධ හමුදා කණ්ඩායම සමත් වූ අතර ගයාන් සාලින්ද විසින් එහි ප්‍රවර්තනය සාර්ථකව එල්ල කළේ CR & FC කණ්ඩායමට විවේකය තුළ දී තම සැලසුම් පිළිබඳව යළිත් වරක් සිතීමට කරුණු ඉතිරි කරමිනි (CR & FC 05 – 12 යුධ හමුදාව)

පළමු අර්ධය: CR & FC 05 – 12  යුධ හමුදා ක්‍රීඩා සමාජය

පළමු අර්ධයේ අවසානය අවසානයක් නොවන බව සටහන් කරමින් තරගයේ 42 වන මිනිත්තුවේ දී යළිත් ක්‍රියාත්මක වූ යුධ හමුදා ක්‍රීඩක අශාන් බණ්ඩාර තවත් උත්සාහයක දිනුමකින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගත් ගයාන් සාලින්ද යුධ හමුදා කණ්ඩායම තරගයේ තවත් ඉදිරියට ගෙන ගියේය (CR & FC 05 – 19 යුධ හමුදාව)

මහනුවර ප්‍රහාරයෙන් යුද හමුදාවට අසාධ්‍යයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවන සතිය අවසන් කරමින් අද (19) මහනුවර ක්‍රීඩා සමාජයත් හා යුද හමුදා…

නමුත් 61 වන මිනිත්තුවේ දී තම ක්‍රීඩක රීසා රෆයිඩීන් වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟින් යළිත් තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළ CR & FC කණ්ඩායම, යුධ හමුදා ආරක්ෂක ක්‍රීඩකයන්ට දිගින් දිගටම පීඩනය එල්ල කරනු දක්නට ලැබුණි. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ඔවුන් සමත් වූයේ නැත (CR & FC 10 – 19 යුධ හමුදාව).

එහෙත් CR & FC කණ්ඩායමේ අවසාන බලාපොරොත්තුවත් සුන් කර දමමින් යළි ක්‍රියාත්මක වූ යුධ හමුදා ක්‍රීඩක අශාන් බණ්ඩාර තරගයේ 74 වන මිනිත්තුවේ දී තම නම ඉදිරියෙන්  උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සටහන් කරමින් තම තුන්වන උත්සාහක දිනුමත් වාර්තා කළේ තරගයේ ජය යුධ හමුදා ක්‍රීඩා සමාජයේ නමින් තහවුරු කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ගයාන් සාලින්ද අසමත් වුවද එයින් තරගයේ අවසාන ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් එල්ල නොවීය (CR & FC 10 – 24 යුධ හමුදාව)

පසුගිය සතියේ CH & FC කණ්ඩායමත් සමඟ ලැබූ පරාජයෙන් අනතුරුව මෙය CR & FC කණ්ඩායම පිට පිටම ලබාගත් දෙවැනි අනපේක්ෂිත පරාජයයි. කලකට ඉහත CR & FC කණ්ඩායමේ බලකොටුව ලෙස හඳුන්වනු ලැබූ ලොන්ඩන් පෙදෙස ක්‍රීඩාංගණය තුළ පවත්වාගෙන ආ අණසක මෑත කාලීනව ඔවුන් වෙතින් ගිලිහෙන බවක් ද දක්නට ලැබුණි.

එසේම යුධ හමුදා කණ්ඩායම් මෙම ජයත් සමඟින් ඩයලොග් රග්බි ලීගය ඉදිරි සති වලදී යළිත් වරක් විවෘත සටනක් බවට පත් වනු ඇත.

අවසන් ලකුණු තත්වය: CR & FC 10 (2T) – 24 (4T,2C)  යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: අශාන් බණ්ඩාර (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • CR & FC – සෂාන් මොහොමඩ් 1T, රීසා රෆයිඩීන් 1T
  • යුධ හමුදා ක්‍රීඩා සමාජය – අශාන් බණ්ඩාර 3T, සුගත් නානායක්කාර 1T

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට