ශ්‍රී ලංකාවේ එක්දින ජයග්‍රහණ 400ක ගමන් මඟ

2554
List of Sri Lanka 400 ODI

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පසුගිය දා නිමා වූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 132ක ජයග්‍රහණයක් ලබා ගන්නා ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ 400 වැනි ජයග්‍රහණය ද ලබා ගැනීමට සමත් වෙනවා.

එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ගමන් මඟ

Team Mat Won Lost Tied NR % Won
පූර්ණ සාමාජිකත්ව රටවල්
1 පාකිස්තානය 155 58 92 1 4 37.41
2 ඉන්දියාව 165 57 96 1 11 34.54
3 සිම්බාබ්වේ 60 46 12 0 2 76.66
4 නවසීලන්තය 101 41 51 1 8 40.59
5 බංග්ලාදේශය 51 40 9 0 2 78.43
6 එංගලන්තය 78 36 38 1 3 46.15
7 ඕස්ට්‍රේලියාව 102 35 63 0 4 34.31
8 දකුණු අප්‍රිකාව 80 33 45 1 1 41.25
9 බ.ඉ. කොදෙව් 63 29 31 0 3 48.33
10 ඇෆ්ගනිස්තානය 9 5 3 0 1 55.55
11 අයර්ලන්තය 4 4 0 0 0 100
සාමාජිකත්ව රටවල්
12 කෙන්යාව 6 5 1 0 0 83.33
13 නෙදර්ලන්තය 3 3 0 0 0 100
14 ස්කොට්ලන්තය 3 3 0 0 0 100
15 කැනඩාව 2 2 0 0 0 100
16 UAE 2 2 0 0 0 100
17 බර්මුඩා 1 1 0 0 0 100
එකතුව 885 400 441 5 39 45.19

1975 වසරේ සිට එක්දින ජාත්‍යන්තර තරග වරම් දිනා ගත් ශ්‍රී ලංකාව මේ කඩඉමට ළඟා වීමට වසර 48ක කාලයක් ගත කළා. එය තරමක දීර්ඝ ඉතිහාසයක් වූවත් ලෝක ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරග 400ක් දිනා ගත් 5 වැනි රට ලෙසයි ශ්‍රී ලංකාව ශ්‍රේණිගත වෙන්නේ.

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 400ක් ඉක්මවා ජයග්‍රහණය කළ කණ්ඩායම්,

ඕස්ට්‍රේලියාව – මේ වන විට තරග 978කට සහභාගී වී ජයග්‍රහණ 594ක් ලබා ගනිමින් ලෝකයේ වැඩිම එක්දින තරග ජයග්‍රාහකයා ලෙසින් ඕස්ට්‍රේලියාව කිරුළ පැලඳ සිටිනවා. ඔවුන්ගේ තරග ජයග්‍රහණයේ ප්‍රතිශතය  60.73%ක් වන අතර එය මේ කඩඉම පසුකළ කණ්ඩායම් අතරින් ප්‍රමුඛ ස්ථානයේ ලා සැලකෙනවා.

ඉන්දියාව – එහි දෙවැනි ස්ථානයේ පසු වෙන්නේ තරග 1029කට සහභාගී වෙමින් ඉන් තරග 539ක් ජයග්‍රහණය කර සිටින අසල්වැසි ඉන්දියාවයි. මෙතෙක් ලොව වැඩිම එක්දින තරග ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇති රට ලෙසින් ඉන්දියාව පත්ව සිටිනවා. ඔවුන්ගේ තරග ජයග්‍රහණයේ ප්‍රතිශතය 52.38%ක්.

පාකිස්තානය – තරග 953කට සහභාගී වෙමින් ඉන් තරග 503ක් ජයග්‍රහණය කළ පාකිස්තානය එම ලැයිස්තුවේ තෙවැනි අසුන හිමිකර ගන්නවා. ඔවුන්ගේ ජයග්‍රහණයේ ප්‍රතිශතය 52.78%ක්.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 400 කඩඉම ඉක්ම වූ ආසන්නතම යා වන්නේ බටහිර ඉන්දිය කොදෙව්වනුයි. ඔවුන් තරග 855කට සහභාගී වෙමින් ඉන් තරග 403ක් ජයග්‍රහණය කරමින් මෙම ලැයිස්තුව හා එක් වෙනවා. ඔවුන්ගේ ජයග්‍රහණයන් ප්‍රතිශතයක් ලෙසින් ගත් කළ 48.18%ක් ලෙසින් දැක් වෙනවා.

ශ්‍රී ලංකාව 400 වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය දක්වා ආ ගමන

මංගල ජයග්‍රහණය

1975 දී ජාත්‍යන්තර එක්දින වරම් හිමි කර ගන්නා ශ්‍රී ලංකාව තම මංගල ජයග්‍රහණය වාර්තා කරන්නේ ඉන්දියාවට එරෙහිවයි. ඒ 1979 දෙවැනි ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව ලකුණු 47ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි. එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බන්දුල වර්ණපුර විසින් මෙහෙයවූ අතර එය ශ්‍රී ලංකාවේ 5 වැනි එක්දින ජාත්‍යන්තර තරගයයි.

25 වැනි ජයග්‍රහණය                                      

පළමු ජයග්‍රහණයෙන් අනතුරුව තවත් ජයග්‍රහණ 24ක් ලබා තරග 25ක් ජයග්‍රහණය කිරීමේ රිදී ජුබිලි සැමරුම වාර්තා කිරීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට වසර 11ක් බලා සිටින්නට සිදු වෙනවා.

1990 වසරේ දී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති තුන්කොන් එක්දින තරගාවලියේ දී බංග්ලාදේශය සමඟ පැවති තරගයක දීයි ඔවුන් මෙම දක්ෂතාව දක්වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම අර්ජුන රණතුංග සතු වූ අතර ඔවුන් එම තරගයෙන් ලකුණු 71ක ජයග්‍රහණයක් හිමිකර ගන්නවා.

ඒ වෙද්දී ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරග 115කට මුහුණ දී තිබුණ අතර ඉන් තරග 86ක් පරාජය වී තරග 4ක් විසඳුමකින් තොරව අවසන් කර තිබුණා.

50 වැනි ජයග්‍රහණය

ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ ස්වර්ණ ජයන්ති ජයග්‍රහණය වාර්තා කරන්නේ නවසීලන්තයට එරෙහිවයි. ඒ 1995 වසරේ ශ්‍රී ලංකාව එරට කළ සංචාරයේ අවසන් එක්දින තරගයට එක් වෙමිනුයි.

එහි දී ලකුණු 51ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම ජයග්‍රහණය සමරන අතර එවර ද කණ්ඩායමේ නායකත්වය අර්ජුන රණතුංග සතු වෙනවා.

ඒ වෙද්දී ශ්‍රී ලංකාව එක්දින තරග 188කට මුහුණ දෙමින් තරග 124ක් පරාජය වී තිබුණා. නොවිසඳුණ තරග 10ක් ද ඒ අතර තිබුණා.

100 වැනි ජයග්‍රහණය

ශ්‍රී ලංකාවේ ශතක සැමරුම් ජයග්‍රහණය වාර්තා වන්නේ 1998 වසරේ දී දකුණු අප්‍රිකාවේ දී පැවති තුන්කොන් තරගාවලියක දී. එම තරගාවලිය සඳහා පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාව ද සහභාගී වුනා.

මෙම තරගාවලියේ ද නායකත්වයේ අර්ජුන රණතුංග කටයුතු කළ ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව ලකුණු 115ක ජයග්‍රහණය කරමින් මෙම කඩඉමට පිවිසියා.

ඒ වෙද්දී ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරග 268ක් ක්‍රීඩා කර තිබූ අතර ඉන් තරග 150ක් පරාජය වී තිබුණා. ඒ අතරට නොවිසඳුණ තරග 13ක් සහ ලකුණු සම වීමෙන් අවසන් වූ තරගයක් ද එක්ව තිබුණා.

150 වැනි ජයග්‍රහණය

2001 වසරේ දී පාකිස්තානයේ සත්කාරකත්වයෙන් සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව ද එක් වූ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දී සිම්බාබ්වේ සමඟ පැවති තරගයක දී ලකුණු 63ක ජයග්‍රහණයක් ලබා ගන්නා ශ්‍රි ලංකාව තම 150 වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය සමරනවා.

ජයග්‍රාහී එම කණ්ඩායමේ නායකයා ලෙසින් සනත් ජයසූරිය කටයුතු කළ අතර ඒ වෙද්දී ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරග 363ක් ක්‍රීඩා කරමින් ඉන් තරග 193ක් පරාජය වෙමින් තරග 14ක් නොවිසඳුණ තරග ලෙසත් සහ තවත් තරග 2ක් ලකුණු සම වීමෙනුත් අවසන් කර තිබුණා.

200 වැනි ජයග්‍රහණය

ශ්‍රී ලංකාව ලැබූ ද්විත්ව ශතක සංවත්සර එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය, 150 වැනි තරග ජයග්‍රහණයෙන් අනතුරුව ගෙවී ගිය සිව්වැනි වසරේ දී වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා. ඒ සඳහා ඔවුන් එතැන් සිට ගත කළේ තරග 87ක් පමණයි.

දකුණු අප්‍රිකාව සමඟ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයග්‍රහණයක් හිමි වෙන අතර මෙවැනි කඩඉම් තරග වාර්තාවක් මෙරට දී තැබීමට හැකි වූ පළමු අවස්ථාව මෙයයි.

කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළේ මහේල ජයවර්ධන.

ඒ වෙද්දී ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරග 450කට මුහුණ දී සිටි අතර ඉන් තරග 227ක් පරාජය වී තරග 16ක් විසඳුමකින් තොරව නිමා කරමින් සහ තවත් තරග 3ක් ලකුණු සම වීමෙන් අවසන් කර තිබුණා.

250 වැනි ජයග්‍රහණය

2008 ආසියානු කුසලාන තරගාවලියේ දී ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 131ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව මෙම කඩඉමට පිවිසෙනවා. ඒ වෙද්දී ද කණ්ඩායමේ නායකත්වය මහේල ජයවර්ධන සතු වුනා.

ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය ලබා ගනිද්දී එතෙක් ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරග 550කට මුහුණ දී ඉන් තරග 272ක් පරාජය වී තිබූණා. ඊට අමතර තරග 22ක් විසඳුමකින් තොරව අවසන් වී තිබූ අතර තවත් තරග 3ක් ලකුණු සම වීමෙන් අවසන් ව තිබුණා.

300 වැනි තරග ජයග්‍රහණය

ඕස්ට්‍රේලියාවට එරෙහිව 2011 වසරේ දී හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 78ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව මෙම කඩඉම සමරනවා.

එහි නායකත්වය තිලකරත්න ඩිල්ශාන් විසින් මෙහෙයවනු ලැබූ අතර  ඒ වෙද්දී ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරග 636කට ක්‍රීඩා කරමින් තරග 303ක් පරාජය වී තිබුණා. තවත් තරග 26ක් විසඳුමකින් තොරව නිමා වී තිබූ අතර තරග 3ක් ලකුණු සම වීමෙන් අවසන් ව තිබුණා.

350 වැනි ජයග්‍රහණය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 2014 වසරේ දී එංගලන්තය සමඟ පැවති තරගයේ දී ලකුණු 87ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම කඩඉමට පිවිසෙනවා.

කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් ඉසිළු අතර ඒ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරග 737කට මුහුණ දී සිටි අතර ඉන් තරග 349ක් පරාජය වෙමින් මෙම කඩඉමට පිවිසීම සුවිශේෂයි. කෙසේ වෙතත් ඒ වෙද්දී විසඳුමකින් තොරව අවසන් වූ තරග 31ක් සහ ලකුණු සම වීමෙන් අවසන් වූ තරග 4ක් ද ඒ අතර තිබුණා.

400 වැනි ජයග්‍රහණය

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම කඩඉමට පිවිසීමේ දී 350 වැනි ජයග්‍රහණයෙන් පසුව වසර 9ක් ගත කරනවා. ඒ අතර තුළ කාලයේ දී තරග 148කට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන් තරග 50ක් ජයග්‍රහණය කරද්දී, තරග 89ක් පරාජය වී තිබෙනවා. ඊට අමතර ව විසඳුමකින් තොරව තරග 8ක් සහ ලකුණු සමවීමෙන් අවසන් කරන තරගයක් ද ඒ අතර වෙනවා.

400 වැනි ජයග්‍රහණය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ඔබේ අදහස පහළින් Comment කරන්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<