ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියට පෙර

Afghanistan Tour of Sri Lanka

264
Afghanistan Tour of Sri Lanka 2023

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ජුනි 02 වැනිදා සිට ආරම්භ වන අතර සියලු තරග හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජුනි 02 වැනිදා
  • දෙවැනි එක්දින තරගය – ජුනි 04 වැනිදා
  • තෙවැනි එක්දින තරගය – ජුනි 07 වැනිදා

දෙරට අතර පැවති එක්දින තරග ඉතිහාසයේ මේ දක්වා තරග 7කට පමණක් සීමා වෙනවා. ඉන් තරග 4ක දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන අතර තරග 2ක ජයග්‍රහණය ඇෆ්ගනිස්තානය සතු වෙනවා. අනෙක් තරගය නිමා වෙන්නේ විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් ලෙසයි.

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය හා එක් වෙන්නේ පිට පිට ම තරගාවලි 2ක් පරාජය වෙමිනුයි. ඒ ඉන්දියාව වෙතින් 3-0ක සහ නවසීලන්තය වෙතින් 2-0ක පරාජයකට පත් වෙමිනුයි. ඇෆ්ගනිස්තානය මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ පසුගිය නොවැම්බර් මාසයේ මෙරට කළ සංචාරයෙන් අනතුරුවයි. ඔවුන් එම තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් වෙනවා.

ශ්‍රී ලංකා සංචිතය

ඇෆ්ගනිස්තානයට එරෙහිව නම් කරන ලද කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න. ඔහු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම හා එක් වෙන්නේ වසර 2කට අධික, නොසලකා හැරීමේ කාලයකට අනතුරුවයි.

ඊට අමතර ව මෙම කණ්ඩායම සඳහා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ද එක් කර තිබෙනවා. මැතිව්ස් එක්දින තරග 106ක නායකයෙක් ලෙසත් සහ දිමුත් එක්දින තරග 17ක නායකයෙක් ලෙසත් ලත් අත්දැකීම් මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා නායකත්වයේ කටයුතු කරන දසුන් ශානකගේ වාසියට යොදා ගත හැකි වෙතැයි විශ්වාස කළ හැකියි.

දිමුත් කරුණාරත්න

2011 වසරේ ජූලි මාසයේ දී එක්දින ජාත්‍යන්තර තරග වරම් හිමිකර ගන්නා දිමුත් එතැන් සිට දශකයකට අධික කාලයක් එක්දින පිටියේ සැරිසරනවා. එහි දී ඔහු මෙතෙක් තරග 34කට මුහුණ දෙමින් ඉනිම 30ක දී පිටියට එක් වෙමින් ලකුණු 767ක් ලබා ගන්නවා. ඊට අර්ධ ශතක 6ක් ඇතුළත් වන අතර ඔහුගේ හොඳම ඉනිම ලෙසින් සැලකෙන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 108ක දී ලබා ගන්නා ලද ලකුණු 97යි.

දෙරට තරග ඉතිහාසය තුළ දී එක් තරගයක දී ඇෆ්ගනිස්තානයට එරෙහිව කණ්ඩායම මෙහෙයවීමේ වගකීම් ද ලද දිමුත් එම තරගය අවසන් කරන්නේ ජයග්‍රහණයෙන් කෙළවර කරමින්. දිමුත්ගේ තරග ඉතිහාසය තුළ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග 2කට සහභාගී වී ඇති අතර ලබා ඇති ලකුණු සංඛ්‍යාව 53ක්.

දසුන් ශානක

31 හැවිරිදි වියේ පසුවෙන දසුන් ශානක මේ දක්වා එක්දින තරග 50කට ක්‍රීඩා කරමින් ලකුණු 1098ක් සහ කඩුලු 17ක් දවා ගනිමින් මෙම කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා.

නිමා කළ තරග අතරින් තරග 22ක දී නායකයා ලෙසින් කටයුතු කළ දසුන් ඉන් තරග 9ක් ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් ව සිටිනවා. අනෙකුත් තරග අතුරින් එක් තරගයක් විසඳුමකින් තොරව නිමා වෙද්දී තරග 9ක් පරාජය වී තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස්

ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලිය හා එක් වෙන්නේ කණ්ඩායම් ද්විත්වයේ ම වඩාත් පරිණත ම ක්‍රීඩකයා ලෙසයි. ඔහු මේ දක්වා තරග 220කට මුහුණ දෙමින් ශතක 3ක් සහ අර්ධ ශතක 40ක් සමඟින් ලකුණු 5853ක් ලබා සිටිනවා.

නමුත් මැතිව්ස්ගේ අවසන් ඉනිම් 5 පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා මට්ටමේ ලා සැලකීමට කිසිසේත් ම ප්‍රමාණවත් නැහැ. ඔහුට එහි දී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 36ක් පමණයි.

කුසල් මෙන්ඩිස්

කණ්ඩායමේ උප නායකයා ද වන කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත පිතිකරු ලෙසින් හැඳින්විය හැකි. ඔහු මේ දක්වා එක්දින තරග 95කට සහභාගී වෙමින් ශතක 2ක් සහ අර්ධ ශතක 20ක් සමඟින් ලකුණු 2654ක් ලබා සිටිනවා.

නමුත් ඔහුගේ ආසන්නත ම තරගවල දක්ෂතා ලැයිස්තුව ද මැතිව්ස්ගේ සේ ම දුර්වල මට්ටමකයි පවතින්නේ. ඔහු අවසන් ඉනිම් 5 දී ලබා සිටින්නේ ලකුණු 38ක් පමණයි. ඉන් ඉනිම 3ක දී ඔහුගේ ඉනිම් නිමා වෙන්නේ කිසිදු ලකුණක් ලබා නොගනිමින්.

මතීෂ පතිරණ

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මෙරට ක්‍රීඩකයන් අතුරින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ වේගපන්දු යවන මතීෂ පතිරණ ද මෙම කණ්ඩායමට ඇතුළත්. ඉන්දීය පිටියේ පෑ දක්ෂතා හේතුවෙන් මෙම තරගාවලියේ වඩාත් ම අවධානය දිනා ගන්නා ක්‍රීඩකයා බවට පත් වෙන්නේ මතීෂයි.

මොවුන් අමතර ව පිතිකරුවන් ලෙසින් පැතුම් නිස්සංක සහ චරිත් අසලංකත් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ධනංජය ද සිල්වාත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු අතර ඉහළින් ම සිටිනවා.

පන්දු යවන්නන් අතරින් නැවත කණ්ඩායමට එක් වූ දුශ්මන්ත චමීර සේ ම වනිඳු හසරංග, මහිෂ් තීක්ෂණ සහ කසුන් රාජිත ද සත්කාරකයන් ලෙසින් ප්‍රතිවාදීන්ට ප්‍රබල තර්ජනයක් කළ හැකි ක්‍රීඩකයන් ලෙසින් හැඳින්විය හැකියි.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය; දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස් , ධනංජය ද සිල්වා, චරිත් අසලංක, වනිඳු හසරංග, මහීෂ් තීක්ශණ, දුශාන් හේමන්ත, චාමික කරුණාරත්න, දුශ්මන්ත චමීර, මතීෂ පතිරණ, ලහිරු කුමාර, කසුන් රාජිත

Hashmatullah Shahidi

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා වන 28 හැවිරිදි වමත් පිතිකරු Hashmatullah Shahidi මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 53කට සහභාගී වෙමින් අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 1505ක් ලබා සිටිනවා.

පාකිස්තානයට එරෙහිව පන්දු 118කට මුහුණ දෙමින් නොදැවී ලබා ගත් ලකුණු 97 ඔහුගේ හොඳම ඉනිමයි. ශ්‍රී ලංකාවට එරෙහිව තරග 5ක දී ඔහු පිටියට පිවිස තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී මෙරට සංචාරයක නිරත වූ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා ද වූයේ Hashmatullah Shahidi.

Rahmat Shah

කණ්ඩායමේ උප නායකයා ද වන Rahmat Shah, දකුණත් පිතිකරුවෙක් ලෙසින් හා පා දඟපන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමේ විශ්වාසය දිනා සිටිනවා. මේ දක්වා ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු වාර්තාවේ කිරීමේ අසුන හිමිකර ගෙන සිටින්නේ ඔහුයි.

ඔහු මේ දක්වා තරග 88කට ක්‍රීඩා කරමින් ශතක 5ක් සහ අර්ධ ශතක 22ක් සමඟින් ලකුණු 3083ක් ලබා සිටිනවා. ඒ අතරට ශ්‍රී ලංකාවට එරෙහිව තරග 5ක දී ලකුණු 206ක් රැස් කරගෙන සිටිනවා. එහි සාමාන්‍ය 41.20ක්.

Mohammad Nabi

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම එක්දින තරග ප්‍රමාණයකට ක්‍රීඩා කළ ක්‍රීඩකයා වන්නේ 38 හැවිරිදි Mohammad Nabi. ඔහු මේ දක්වා තරග 136කට සහභාගී වෙමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 2968ක්. ඊට ශතකයක් සහ අර්ධ ශතක 15ක් ඇතුළත් වෙනවා.

එමෙන් ම දකුණතින් පිට දඟපන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන Mohammad Nabi මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 144ක්.

කදිම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්විය හැකි Mohammad Nabi ශ්‍රී ලංකාව සමඟ පැවති තරග 7ට ම ක්‍රීඩා කර තිබෙනවා. එහි දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 139ක්.

ඔහුට එක්දින ජාත්‍යන්තර ලකුණු 3000ක් සඳහා අවශ්‍ය තවත් ලකුණු 32ක් පමණයි.

Rashid Khan

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ 24 වැනි වියේ පසුවෙන පා දඟපන්දු යවන Rashid Khan. ඔහු තරග 86ක දී කඩුලු 163ක් ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් තරග 5කට සහභාගී වෙමින් කඩුලු 9ක් දවාගෙන සිටිනවා.

මොවුන්ට අමතර ව Najibullah Zadran, Rahmanullah Gurbaz, Ibrahim Zadran සහ Mujib ur Rahman ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ප්‍රබලයන් ලෙසින් හැඳින්විය හැකියි.

තරගාවලියට එක්වීමට මෙරට පැමිණි ඇෆ්ගනිස්තානය සංචිතය; Hashmatullah Shahidi (නායක), Rahmat Shah (උප නායක), Rahmanullah Gurbaz, Ibrahim Zadran, Riaz Hassan, Najibullah Zadran, Mohammad Nabi, Ikram Alikhail, Azmatullah Omarzai, Rashid Khan, Mujib ur Rahman, Noor Ahmad, Abdul Rahman, Fazal Haq Farooqi, Farid Ahmad Malik

තරගාවලිය පැවැත්වෙන හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය එක්දින ජාත්‍යන්තර තරගාවලියකට විවර වෙන්නේ වසර ත්‍රිත්වයකට පසුවයි. මෙතෙක් මෙම ක්‍රීඩාංගණයේ දී එක්දින ජාත්‍යන්තර තරග 21ක් පවත්වා ඇති අතර ඉන් තරග 20කට ම සහභාගී වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝයි. එම තරග අතරින් ඔවුන් තරග 9ක් ජයග්‍රහණය කර ඇති අතර තරග 3ක් විසඳුමකින් තොරව අවසන් ව තිබෙනවා. අනෙක් තරග 8 ප්‍රතිවාදීන් ජයග්‍රහණය කර තිබේ.

සංචාරක ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට එක් වෙන්නේ පළමු වරට බැවින් සත්කාරකයන්ට එහි වාසිය ද ලබා ගත හැකියි.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<