ගෝල රකින්නෝ ස්පාඤ්ඤය හා ඩෙන්මාර්කය ගෙදර යවති

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය

1269

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ දෙවන දිනය වූ ඊයේ (01) පළමු තරගය ලෙස සත්කාරක රුසියාව හා ප්‍රබල ස්පාඤ්ඤය තරග වැදුණු අතර ගෝල 1-1ක් ලෙස නියමිත කාලය අවසන් වීමෙන් අනතුරුව දඬුවම් පහරවලින් ගෝල 3 – 4ක් ලෙස ස්පාඤ්ඤය නැවත හරවා යවන්නට සත්කාරක රුසියාව සමත් විය.

ලෝක ශූර රොනාල්ඩෝගේ හා මෙසීගේ සිහින පළමු දිනම බිඳ වැටේ

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ තරග ඊයේ (30) ආරම්භ වූ අතර 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගයේ දී දී සුපිරි…….

දිනයේ දෙවන තරගයේ දී ප්‍රබල ක්‍රොඒෂියාවත් පෙරළිකාර ඩෙන්මාර්කයත් හමු වූ අතර මේ තරගය ද ගෝල 1-1ක් ලෙස සම සමව අවසන් වීම නිසා දඬුවම් පහර මගින් ගෝල 3-2ක් ලෙස තරගයේ ජය ක්‍රොඒෂියාවට හිමි විය.

දඬුවම් පහර නාටකයෙන් පසු තරගයේ ජය ක්‍රොඒෂියාව

දිනයේ දෙවන තරගය ලෙස ප්‍රබල ක්‍රොඒෂියාවත් ඩෙන්මාර්කයත් Nizhny Novgorod හි Novgorod ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර ගෝල 1-1 ක් ලෙස තරගය සමවීම නිසා දඬුවම් පහර 3-2ක් ලෙස තරගයේ ජය හිමි කර ගැනීමට ක්‍රොඒෂියාව සමත් විය. දඬුවම් පහර ලබා ගැනීම ඉතා උණුසුම් වූ අතර කණ්ඩායම් දෙකේම සුපිරි ක්‍රීඩකයින්ගේ දඬුවම් පහරවල් ගෝල රකින්නන් විසින් ව්‍යර්ථ කිරීම සුවිශේෂ සිදුවීමක් විය.

තරගයේ පළමු මිනිත්තු තුන ඇතුලත කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කළේ තියුණු සටනකට මග විවර කරමිනි.

තරග ආරම්භයෙන් තත්පර 58කට පසුව M. JØRGENSEN විසින් ක්‍රොඒෂියා ආරක්ෂක ක්‍රීඩකයින් සමඟ ප්‍රබල සටනක නිරත වීමෙන් පසුව පන්දුව දැල තුලට යොමු කළේ ලෝක කුසලානයක වේගවත්ම ඩෙන්මාර්ක ගෝලය වාර්තා කරමිනි.

JØRGENSEN ඩෙන්මාර්කයට විශ්මයජනක ආරම්භයක් ලබා දුන්නේය

අනතුරුව ඉතා ඉක්මනින් ප්‍රතිප්‍රහාර එල්ල කළ ක්‍රොඒෂියා ක්‍රීඩකයෝ සිව්වැනි මිනිත්තුවේ දී සිය පළමු ගෝලය වාර්තා කළ අතර ඩෙන්මාර්ක් ආරක්ෂක ක්‍රීඩකයෙකුගේ වැදී පැමිණි පන්දුව Mandzukic ඉතා පහසුවෙන් ගෝල රාමුව තුලට යොමු කරන්නට සමත් විය.

Mandzukic ඉතා ඉක්මනින් ගෝල සමකළේ ඩෙන්මාර්ක් ප්‍රේක්ෂකයින්ගේ ප්‍රීති ඝෝෂා නිමාවීමටත් පෙරය

කෙසේ වෙතත් අනතුරුව පළමු අර්ධය පුරා වැඩි වෙලාවක් පන්දුව තමන් සතු කර ගැනීමට ක්‍රොඒෂියා මැද පෙළ සමත් විය. පළමු අර්ධය අවසාන වන තුරු කණ්ඩායම් දෙකම උත්සහ කළත්, ඉතා ආසන්න අවස්ථා හිමිවුනත්, කණ්ඩායම් දෙකම ගෝල රැස් කර ගැනීමට සමත් වූයේ නැත.

පළමු අර්ධය: ක්‍රොඒෂියාව 01 – 01 ඩෙන්මාර්කය

පළමු අර්ධයේ ලෙසටම කණ්ඩායම් දෙකම දෙවන අර්ධයේ ද කරට කර සටනක නිරත වූ අතර ඩෙන්මාර්කය කාණ්ඩ අදියරේ තරගවලට වඩා වැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක නිරත වනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් ක්‍රොඒෂියානු කණ්ඩායම නොසිතූ පරිදි ඩෙන්මාර්කය ඔවුන්ට දැවැන්ත පීඩනයක් එල්ල කළ නමුත් නියමිත කාලය අවසානයේ කිසිදු කණ්ඩායමකට ජයග්‍රාහී ගෝලය රැස් කර ගැනීමට හැකි වුණේ නැත,

නියමිත කාලය අවසානයේ: ක්‍රොඒෂියාව 01 – 01 ඩෙන්මාර්කය

දිනයේ දෙවන වරටත් අමතර කාලය සඳහා තරගය ඇදී ගිය අතර අමතර කාලයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම සියතට ගෙන ක්‍රොඒෂියාවට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට පෙරළිකාර ඩෙන්මාර්ක් ක්‍රීඩකයෝ සමත් විය.

අමතර කාලයේ පළමු අර්ධය: ක්‍රොඒෂියාව 01 – 01 ඩෙන්මාර්කය

JØRGENSEN හට කහ කාඩ්පතක් ලැබුනත් ඔහු ඩෙන්මාර්ක බලාපොරොත්තු තව දුරටත් තරගයේ රඳවා ගැනීමට සමත් විය

113 වන මිනිත්තුවේ දී මොඩ්රික්ගේ අලංකාර පන්දු යොමු කිරීමක් ගෝල රකින්නා ද මග හරිමින් REBIĆ ඉදිරියට ගෙන ගිය අතර ඩෙන්මාර්ක් ක්‍රීඩක M. JØRGENSEN, REBIC හට අනවශ්‍ය ලෙස බාධා කරමින් එම ගෝලය නැවත වීම නිසා විනිසුරු ක්‍රොඒෂියාවට දඬුවම් පහරක් නියම කළේ ක්‍රොඒෂියානු ක්‍රීඩකයින්ගේ දෑතටම ජයග්‍රහණය ලබා දෙමිනි.

සුපිරි රියාල් මැඩ්රිඩ් ක්‍රීඩක ලුකා මොඩ්රික් එම දඬුවම් පහර ලබාගත් අතර මෙසීගේ හා රොනාල්ඩෝගේ අඩිපාරේ ගිය මොඩ්රික් හටත් දෛවයේ සරදමකට හා ඩෙන්මාර්කයේ වාසනාවට එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට නොහැකි විය. ඩෙන්මාර්ක ගෝල රකින්නා, SCHMEICHEL දක්ෂ ලෙස එම අවස්ථාව ව්‍යර්ථ කළේ ඩෙන්මාර්ක බලාපොරොත්තු තව දුරටත් රැක ගනිමිනි.

සුපිරි ක්‍රීඩා ලුකා මොඩ්රික් අතින් ගිලිහුණේ ලෝක කුසලාන සිහිනය ද?

අමතර කාලය අවසානයේ: ක්‍රොඒෂියාව 01 – 01 ඩෙන්මාර්කය

ඒ අනුව දඬුවම් පහර මගින් තරගයේ තීරණය ලබා දීමට කටයුතු කෙරුණු අතර මොහොතකට පෙර දක්ෂ ගෝල රැකීමක නිරත වූ SCHMEICHEL ඩෙන්මාර්ක ගෝල රකින්නා ලෙසත් SUBASIC ක්‍රොඒෂියානු ගෝල රකින්නා ලෙසත් පිටියට පිවිසුණි.

පළමු අවස්ථාව ඩෙන්මාර්ක ක්‍රීඩක ERIKSEN ලබා ගත් නමුත් SUBASIC විශිෂ්ට ලෙස එම අවස්ථාව ව්‍යර්ථ කළේ ක්‍රොඒෂියාවට අමතර වාසියක් ලබා දෙමිනි. (0-0)

අනතුරුව ක්‍රොඒෂියාවේ BADELJ විසින් එල්ල කළ ප්‍රහාරය සාර්ථකව නවත්වන්නට SCHMEICHEL සමත් වූයේ SUBASIC සමඟ එකට එක කරමිනි. (0-0)

KJÆR ඩෙන්මාර්කය වෙනුවෙන් දෙවන දඬුවම් පහර සාර්ථක කරගන්නා ලදී. KRAMARIĆ විසින් ක්‍රොඒෂියාව වෙනුවෙන් දෙවන දඬුවම් පහර සාර්ථක කර ගන්නා ලදි. (1-1)

KROHN-DEHLI විසින් ඩෙන්මාර්කය වෙනුවෙන් තෙවන දඬුවම් පහර සාර්ථක කරගද්දී MODRIĆ විසින් මේ වතාවේ දී නම් සාර්ථකව දඬුවම් පහරෙන් ගෝලයක් රැස් කර ගැනීමට සමත් විය. (2-2)

SCHÖNEගේ උත්සාහය SUBASIC ව්‍යර්ථ කළ අතර ඊට තත්පර කිහිපයකට පසු PIVARIĆගේ උත්සාහය SCHMEICHEL විසින් ව්‍යර්ථ කළේ තරගයේ උණුසුම අවසාන දඬුවම් පහර කරා ගෙන එමින්ය.

N. JØRGENSENගේ දඬුවම් පහර දක්ෂ ලෙස නැවැත්වීමට SUBASIC සමත් වූයේ තරගයේ අවසානය මෙන්ම රටවල් දෙකේම ලෝක කුසලාන සිහිනය SCHMEICHELට හා RAKITIĆට භාර දෙමිනි.

මෙවර නම් එකට එක කිරීමට SCHMEICHEL අසමත් වුන අතර RAKITIĆ අලංකාර ලෙස එම දඬුවම් පහර සාර්ථක කර ගත්තේ ක්‍රොඒෂියාවට අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන් කරමින්ය.

අවසාන ලකුණු තත්වය: ක්‍රොඒෂියාව 01 (3) – 01 (2) ඩෙන්මාර්කය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • ක්‍රොඒෂියාව – MANDŽUKIĆ 4′
  • ඩෙන්මාර්කය –  M. JØRGENSEN 1′

රුසියානු ගෝල රකින්නා හමුවේ නොසිතූ ලෙස ස්පාඤ්ඤයත් ගෙදර යයි

තරගය මොස්කව් හි Luzhniki ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් අතරින් අඩුම ලෝක ශ්‍රේණිගත මට්ටමක සිටින කණ්ඩායම රුසියාව වන අතර රුසියානු ගෝල රකින ක්‍රීඩක Akinfeevගේ දක්ෂතා නිසා රුසියාවට අර්ධ අවසන් පූර්ව වටයේ වරම් හිමි විය. ඒ අනුව මේ තරගය සුපිරි ස්පාඤ්ඤ ක්‍රීඩක අන්ද්රේ ඉනිඑස්ටාගේ අවසන් ජාත්‍යන්තර තරගය වනු ඇත.

සුපිරි ක්‍රීඩකයාගේ අවසන් සටන මෙය වනු ඇත

පළමු අර්ධයේ වැඩි කාලයක් පන්දුව ස්පාඤ්ඤ ක්‍රීඩකයින් ළඟ තිබුනත්, රුසියානු ආරක්ෂක වළල්ල ඔවුන්ට රුසියානු චතුරශ්‍රයට පිවිසීමට වැඩි අවස්ථාවක් නොදුන් නමුත් ලද අවස්ථාවක දී ම ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ස්පාඤ්ඤ කණ්ඩායමට ප්‍රබල පීඩනයක් යොමු කිරීමට රුසියානු ක්‍රීඩකයෝ වග බලා ගත්හ.

පළමු අර්ධයේ වාර්තා වූ ගෝල දෙකම දෙපිලේ ක්‍රීඩකයින්ගේ වැරදිවලින් අනෙකාට හිමි වූ ගෝල වූ අතර 12 වන මිනිත්තුවේ පළමු ගෝලය වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගන්නට ස්පාඤ්ඤ ක්‍රීඩකයෝ සමත් වූහ.

නිදහස් පහරකින් ලැබුණු දඬුවම් පහරකින් පන්දුව ගුවනේ පාවී එද්දී Sergei Ignashevich පන්දුව දෙස නොබලා ස්පාඤ්ඤ ක්‍රීඩක Sergio Ramosව ආවරණය කිරීමට උත්සහ කළ අතර ඔහුටත් නොදැනීම පාවී ආ පන්දුව ඔහුගේ පාදයේ වැදී දැල තුලට ගියේ මෙවර ලෝක කුසලානයේ 10 වන OWN GOAL අවස්ථාව ලෙසය.

තවම 16 දෙනාගේ වටයේ ආරම්භය පමණක් වුවත් මෙතෙක් පැවැත්වූ ලෝක කුසලාන තරගාවලිවලින් වැඩිම OWN GOAL අවස්ථා වාර්තා වූ ලෝක කුසලානය මෙයයි. අකමැත්තෙන් වුවද ලෝක කුසලාන තරගාවලියක OWN ගෝලයක් වාර්තා කළ වයස්ගතම ක්‍රීඩකයා බවට පත් වන්නට ද Sergei Ignashevich (වයස අවුරුදු 38) හට සිදු විය.

අවාසනාවන්ත අත්වැරැද්දක් ස්පාඤ්ඤයට පළමු ගෝලය ගෙනාවේය

අනතුරුව ස්පාඤ්ඤ ක්‍රීඩකයින් පන්දුවත් සමඟ වැඩි කාලයක් ක්‍රීඩා කළත් වැඩි ආසන්න අවස්ථා ගණනක් උදා කරගත්තේ රුසියානු කණ්ඩායම වූ අතර 40 වන මිනිත්තුවේ දී Gerard Pique සිය ‘දෑතින්ම’ රුසියාවට ගෝල සම කිරීමට අවස්ථාවක් සාදා දුන්නේය.

PIQUE නොමිලයේම ගෝලයක් තෑගී කළේය

DZYUBA විසින් ලබාගත් ‘corner’ අවස්ථාවක් වැළැක්වීමට PIQUE දඬුවම් පහර චතුරශ්‍රය තුල දී සිය දෑත් දෙකම ඔසවා ගෙන ගුවනට පිවිසුණු අතර රුසියානු ක්‍රීඩකයෙකුගේ හිසේ වැදුණු පන්දුව එසැනින්ම PIQUEගේ අතේ ද ගැටුණේ රුසියාවට අනගි අවස්ථාවක් හිමි කරදෙමිනි.  DZYUBA එම දඬුවම් පහර සාර්ථක කරගන්නා ලදි.

පළමු අර්ධය: රුසියාව 01 – 01 ස්පාඤ්ඤය

සුපිරි ස්පාඤ්ඤ ක්‍රීඩක ඉනිඑස්ටා අද තරග ආරම්භ නොකළ අතර දෙවන අර්ධයේ ඔහු පිටියට පිවිසුණේ ස්පාඤ්ඤ කණ්ඩායම මේ පසුබෑමෙන් ගලවා ගන්නටය. ඉනිඑස්ටාගේ ආගමනයත් සමඟ දෙවන අර්ධයේ මුල් භාගය පුරා ස්පාඤ්ඤ ක්‍රීඩකයෝ ඉතා ආසන්න අවස්ථා කිහිපයක්ම ළඟා කර ගැනීමට සමත් වුනත්, ඉතා අවධානයෙන් ක්‍රීඩා කළ රුසියානු ආරක්ෂක වළල්ල ඔවුන්ට එම ආසන්න අවස්ථා කිසිවක් සාර්ථක කර ගැනීමට ඉඩ ලබා දුන්නේ නැත,

84 වන මිනිත්තුවේ දී ඉනිඑස්ටාගේ විශිෂ්ට ප්‍රහාරයක් සාර්ථක ලෙස වළක්වන්නට රුසියානු ගෝල රකින්නා වූ Akinfeev සමත් වූයේ මොහොතකට 78,000ක් රුසියානු ප්‍රේක්ෂකයින්ගේ හදවත් මොහොතකට නතර කරවමිනි.

Akinfeev අද රුසියාවේ නවතම වීරයා විය

කෙසේ වෙතත් අවසන් මිනිත්තුව වන තුරු කණ්ඩායම් දෙකම ගෝලයක් රැස‍්කර ගැනීමට සමත් වූයේ නැත. එම නිසා තරගය අමතර කාලය දක්වා ක්‍රියාත්මක කිරීමට විනිසුරුවන්ට සිදු විය.

අමතර කාලයේ පළමු අර්ධයේ රුසියාව ගෝලයක් සඳහා එක් ආක්‍රමණයක්වත් දියත් කළේ නැත. අනෙක් අතට ස්පාඤ්ඤ ක්‍රීඩකයෝ පන්දුව තමන් අතේම තබා ගනිමින් ආක්‍රමණ රාශියක් දියත් කළත් ඒවා සාර්ථක කර ගැනීමට දඬුවම්  පහර චතුරශ්‍රයේම රැඳී සිටි රුසියානු ක්‍රීඩකයින් අට දෙනා සමත් විය. රුසියානු ගෝල රකින්නා විශිෂ්ට ක්‍රීඩා විලාසයක් පෙන්වුයේ ඉතා වැදගත් අවස්ථාවල ක්ෂණික තීරණ ගනිමිනි.

අමතර කාලයේ පළමු අර්ධය: ස්පාඤ්ඤය 01 – 01 රුසියාව

අමතර කාලයේ දෙවන අර්ධයේ ද ඉතා තියුණු අවස්ථා කිහිපයක් දියත් වූ අතර දෙවන අර්ධයේ අවසාන භාගයේ රුසියානු දඬුවම් චතුරශ්‍රය තුළ ස්පාඤ්ඤයට දඬුවම් පහරක් ලබා දෙන්නේ දැයි විමසීම සඳහා විනිසුරු ‘VAR’ තාක්ෂණය යොදා ගත්ත ද එය දඬුවම් පහරක් නොවන බව ඔහු තීරණය කළේය.

අමතර කාලය අවසානයේ: ස්පාඤ්ඤය  01 – 01 රුසියාව

දඬුවම් පහර මගින් තරගයේ තීරණය ලබා දීමට විනිසුරු තීරණය කළ අතර පළමුව දඬුවම් පහර දීමේ අවස්ථාව ලබා ගත්තේ ස්පාඤ්ඤයයි.

Akinfeev දිනය පුරා සුපිරි දස්කම් දක්වමින් රුසියානු ගෝල රකින්නා ලෙස දඬුවම් පහර සඳහා පිටියට පිවිසුණු අතර De GEA ස්පාඤ්ඤය වෙනුවෙන් දැල් රැකීමට පිටියට පිවිසුණි.

120 +1මිනිත්තුවේ දී ඉනිඑස්ටා ස්පාඤ්ඤය වෙනුවෙන් පළමු දඬුවම් පහර සාර්ථක කරගත්තේය.

120+1 මිනිත්තුවේ දී SMOLOV රුසියාව වෙනුවෙන් පළමු දඬුවම් පහර සාර්ථක කර ගත්තේය.

120+2 මිනිත්තුවේ දී PIQUÉ ස්පාඤ්ඤය වෙනුවෙන් දෙවන දඬුවම් පහර සාර්ථක කර ගත්තේය.

120’+3 දී Sergei Ignashevich රුසියාව වෙනුවෙන් දෙවන දඬුවම් පහර සාර්ථක කරගන්නා ලදි.

120’+4′ මිනිත්තුවේ දී තරගය උඩු යටිකුරු වූ අතර KOKEගේ දඬුවම් පහර Akinfeev විසින් නැවැත්වූයේ ස්පාඤ්ඤයට  සිය තෙවන දඬුවම් පහර අහිමි කරමිනි.

KOKEගේ අතපසුවිම ස්පාඤ්ඤයේ රුසියා සවාරිය හමාර කළේය

120’+4′ දී GOLOVIN විසින් රුසියානු තෙවන දඬුවම් පහර සාර්ථක කර ගන්නා ලදි.

120’+5′ RAMOS විසින් ස්පාඤ්ඤය සිව්වැනි දඬුවම් පහර ලබා දුන්නේය.

120+6’ දී CHERYSHEV විසින් රුසියාවේ සිව්වැනි දඬුවම් පහර සාර්ථක කර ගත්තේ ස්පාඤ්ඤයේ දෛවය ASPAS අතේ තබමිනි.

120+6 දී IAGO ASPAS පස්වැනි හා අවසාන දඬුවම් පහර  ලබා ගත් නමුත් රුසියාවට ඉතිහාස ගත ජයක් හිමි කර දෙමින් පන්දුව ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියේය.

ඒ අනුව ලෝක ශූර ස්පාඤ්ඤයට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර රුසියානු කණ්ඩායමට අර්ධය අවසන් පූර්ව තරග වල අසුනක් වෙන්විය.

අවසාන ලකුණු තත්වය: ස්පාඤ්ඤය 01 (3) – 01 (4)රුසියාව

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • ස්පාඤ්ඤය – Sergei Ignashevich 12′ (OG)
  • රුසියාව – DZYUBA 41′(PEN)

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<