දිවයිනට පැමිණි මෙන්ඩිස්, දික්වැල්ල සහ ගුණතිලක නිරෝධායනයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2021

294

එංගලන්ත තරග සංචාරයේ දී ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා තරග තහනමක් පැනවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක UL504 දරන ගුවන් යානයෙන් අද (29) දහවල් දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණි ඔවුන් තිදෙනා වහාම  ක්‍රියාත්මක වන පරිදි මීගමුව ප්‍රදේශයේ හෝටලයක දී දින 14ක් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

එංගලන්ත තරග සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුලේ (bio-bubble) නීති උල්ලංඝනය කරමින් Durham හි මාර්ගයක අදාළ ක්‍රීඩකයින් තිදෙනා රැඳී සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පට දෙකක් ඊයේ (28) සමාජ මාධ්‍ය හරහා සංසරණය වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

ඉන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මනුජ කාරියප්පෙරුම මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව වෙත ලබා දී තිබෙන වාර්තාව අනුව, ඔවුන්ට තාවකාලික තරග තහනමක් පනවා මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළා. 

එසේම මෙහි ඉදිරි විනය පරීක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන් වන තෙක් ඔවුන් තිදෙනා සඳහා ලබා දී තිබෙන මේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම වලංගු වෙන අතර ඉදිරියේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දීය තරගාවලිය ද ඔවුන් තිදෙනාට මඟ හැරී යාමේ අවදානමක් තිබෙනවා.

COVID-19 වසංගතය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් තරගාවලි තුළ දී ජෛව ආරක්ෂිත බුබුලක් තුළ රැඳී සිටීම අනිවාර්යය කරුණක් වන අතර එවැනි වාතාවරණයක් තිබිය දී මෙය උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැත. එසේ සිදු කිරීම තරගාවලියේ පැවැත්ම සඳහා දැඩි බලපෑමක් එල්ල කරනුයේ COVID-19 වයිරසය කණ්ඩායම් තුළට ඇතුළු වීමේ අවදානමක් තිබෙන නිසයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<