ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

403
BCCI Facebook

ශ්‍රී ලංකාව සමඟ එක්දින සහ විස්සයි විස්ස තරග තුනක් සඳහා සහභාගී වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ (28) පස්වරුවේ දිවයිනට පැමිණියා.

Shikhar Dhawanගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ දැල තුල පන්දු යවන්නන් 5 දෙනෙකු ඇතුළත් අතර ඔවුන් සති 4ක කාලයක් මෙරට රැඳී සිටීමට නියමිතයි. ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙම තරග සංචාරයේ දී Rahul Dravid කටයුතු කරනවා

Photos – India Cricket Team arrives in Sri Lanka 2021

ඉන්දීය ටෙස්ට් සංචිතය එංගලන්ත සංචාරයක නිරතව සිටින බැවින් ඉන්දියාව මෙම තරග සංචාරය සඳහා නවක ක්‍රීඩකයින් බහුල කණ්ඩායමක් නම් කර ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

සංචාරයට එක්වන ක්‍රීඩකයින් 25 දෙනා (පුහුණු දැල් තුල යවන්නන් සහිතව) දින 14ක කාලයක් මුම්බායි හිදී නිරෝධායනයට ලක්වී මෙරටට පැමිණි අතර අනතුරුව දින 3ක කාලයක්, එනම් ජූලි 01 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී නිරෝධායනයට ලක්වනු ඇත.  

ඒ අනුව ජූලි 02 වැනිදා සිට 04 වැනිදා දක්වා කාලයේ දී නිරෝධායනයට ලක්වන අතරතුරම සිය පුහුණුවීම් සඳහා ද එක්වීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට හිමි වන අතර ජූලි 05-12 අතර කාලයේ දී නිරෝධායනයකින් තොරව පුහුණුවීම් කටයුතු සිදු කළ හැකි වෙනවා.  

මෙම තරගාවලියේ ICC සුපර් ලීගයේ එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවල දී පැවැත්වෙන අතර විස්සයි විස්ස තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවල දීයි. ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් යම් තරගාවලියක් සඳහා සංචිතයක් නම් කිරීමට පෙර එම ක්‍රීඩකයින් හට Yo-Yo test සහ 2km දුරක් දිවීම අනිවාර්ය කර තිබෙන නමුත් ඉන්දියාව තුළ පවතින වත්මන් Covid-19 ව්‍යාප්තිය නිසාවෙන් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ අගුළු දමා (Lockdown) තිබෙන නිසා මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීමට පෙර එවැනි ආකාරයක ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පවත්වා නොමැති බව ද වාර්තා වෙනවා.

ඉන්දීය එක්දින සහ විස්සයි විස්ස සංචිතය: Shikhar Dhawan (C), Prithvi Shaw, Devdutt Padikkal, Ruturaj Gaikwad, Suryakumar Yadav, Manish Pandey, Hardik Pandya, Nitish Rana, Ishan Kishan (Wk), Sanju Samson (Wk), Yuzvendra Chahal, Rahul Chahar, K Gowtham, Krunal Pandya, Kuldeep Yadav, Varun Chakravarthy, Bhuvneshwar Kumar (Vc), Deepak Chahar, Navdeep Saini, Chetan Sakariya

දැල් තුල පන්දු යවන්නන්: Ishan Porel, Sandeep Warrier, Arshdeep Singh, Sai Kishore, Simarjeet Singh

එක්දින සහ විස්සයි විස්ස තරග සියල්ලේ ම නායකත්වය Shikhar Dhawan විසින් දරන විට Bhuvneshwar Kumar සංචිතයේ උපනායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 13
  • දෙවැනි එක්දින තරගය – ජූලි 16
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 18
  • පළමු විස්සයි විස්ස තරගය – ජූලි 21
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 23
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 25

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 7 සිට) පැවැත්වෙනවා.

මේ තරග සියල්ල ප්‍රේක්ෂකයින් නොමැතිව ජෛව ආරක්ෂිත පරිසරයක් (Bio-Secure Environment) තුල පැවැත්වෙන අතර නවීකරණය කරන ලද කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ වසර දෙකකට ආසන්න කාලයකට පසුව වීමත් විශේෂත්වයක්.

තරගාවලියේ තොරතුරු වගේම තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<