ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එකට එක කරති

455

අර්ධ ආබාධිත තත්ත්වයට පත් ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (24) සමත් වුනා.

අත්‍යවශ්‍ය අවස්ථාවක ලකුණු අතරට පිවිසි නායක පී. ජී. ගයාන් අවාසනාවන්ත ලෙසින් තම ඉනිම අතරමග නතර කර ගත්ත ද තරගය ජයග්‍රහණයකින් කෙළවර කිරීමට උදාර ඉන්ද්‍රජිත් සහ ආර්. එම්. එන්. කුමාර සමත් වුනා.

කුමාර පිත්තෙන් දක්ෂතා දැක්වීමට අමතරව පන්දු යැවීමෙන් ද දැක්වූ දක්ෂතා හේතුවෙන් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණා.

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයේ ලද ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 1-1ක් සේ සම කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා.

අර්ධ ආබාධිත තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයන්ට තියුණු ජයක්

අර්ධ ආබාධිත තත්ත්වයට පත් ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වුනා. මෙම තරගය…

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 165ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය පසු කළා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලකුණු පුවරුවට ලකුණු 2ක් පමණක් එක් වෙද්දී නැවත ක්‍රීඩා විවේකාගාරය වෙත යැවීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වීම තරගය පිළිබඳ අනියත බියක් ඇති කළා. එහෙත්  ඉතිරි වූ ආරම්භක පිතිකරු නිලංක ප්‍රනාන්දු සමඟ එක්වූ නායක පී. ජී. ගයාන් දෙවැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රාහී සිහිනයේ ගිල්වුවා. නිලංක පන්දු 14ක දී හයේ පහර දෙකක් සමඟින් ලකුණු 22ක් ලබා ගනිමින් තම ඉනිම නිමා කර ගත්තා.

ගයාන් අද තරගයේ දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 44ක්. එය ජයග්‍රාහී ඉනිමේ වැඩිම ලකුණු සබඳතාව ද වුනා. ගයාන්ගේ ඉනිම පන්දු 36කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුලත් වුනා.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 113ක්ව තිබිය දී පිටියේ එක් වූ උදාර ඉන්ද්‍රජිත් සහ ආර්. එම්. එන්. කුමාර එතැන් සිට තරගයේ ජයග්‍රාහී ලකුණු දක්වා වූ ලකුණු 53 තම කඩුලු ද ආරක්ෂා කර ගනිමින් ලබා ගැනීමට සමත් වුනා. කුමාර පන්දු 23කට මුහුණ දී හතරේ පහර සහ හයේ පහර දෙක බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 29ක් ලබා ගත්තා. ඉන්ද්‍රජිත් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 26ක්. ඔහුගේ ඉනිම පන්දු 24කින් සමන්විත වූ අතර ඉනිමට හතරේ පහර සහ හයේ පහර එක බැගින් ඇතුලත් වුනා.   

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල පන්දු තුනකට පමණක් සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා. එසේ වූව ද පෙර තරගයේ දී ද ලකුණු අතර සිටි ආරම්භක පිතිකරු බල්රාජ් අද තරගයේ දී ද ලකුණු 41ක් ලබා ගත්තා. බල්රාජ් පන්දු 20කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් තම ඉනිම වෙනුවෙන් එකතු කරගත්තා.

ආරම්භය අවාසනාවන්ත වූවද දෙවැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් එක් කිරීමට බල්රාජ් සහ සුව්රෝ සමත් වුනා. සුව්රෝ රැස් කළ ලකුණු සංඛ්‍යාව 64ක්. පන්දු 51ක් පුරා පිටියේ නොදැවී රැඳීඅ සිටි සුව්රෝ තම කණ්ඩායමේ ඉනිම නිමා වන විට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුලත් කරගෙන සිටියා.

සුව්රෝ ඉන්දීය කණ්ඩායමේ තෙවැනි සහ සිව්වැනි කඩුලු වෙනුවෙන් ද ලකුණු 40 ඉක්ම වූ සබඳතා එක් කිරීමට සමත් වීම කැපී පෙණුනා. තෙවැනි කඩුල්ලේ දී වමත් පිතිකරු ෂීල් (22) සමඟ එක් වූ සුව්රෝ එක්කළ ලකුණු සබඳතාව 47ක්. ඊට පසුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන්  පී. කයිලාෂ් (13) සමඟ එක් වූ සුව්රෝ ලකුණු 43ක සබඳතාවක් ගොඩ නැගුවා.

කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් වේගපන්දු යැවූ ආර්. එම්. එන්. කුමාර ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතරව උදාර ඉන්ද්‍රජිත්, රනුක රුක්ෂාන් සහ කේ.ජී. පී. එස්. පුෂ්පකුමාර කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගාවලියේ තෙවැනි සහ තීරණාත්මක අවසන් තරගය හෙට (25) කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවැත්වීමට නියමිත ය.

ඉන්දීය ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ කණ්ඩායම; කඩුලු 5ක් දැවී 165 (20.0)  බල්රාජ් 41, සුව්රෝ නොදැවී 61, ෂීල් 22, ආර්. එම්. එන්. කුමාර 2/19

ශ්‍රී ලංකා ශාරීරික අභියෝගතා සහිත වූවන්ගේ කණ්ඩායම; කඩුලු 5ක් දැවී 166 (19.1) නිලංක ප්‍රනාන්දු 22,  පී. ජී. ගයාන් 44, උදාර ඉන්ද්‍රජිත් නොදැවී 26, ජේ. එම්. ආර්. උඩුගම නොදැවී 29, රවින්ද්‍ර පාල් 1/22

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් දැනුවත් වීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<