“එදා මගේ බිරිඳ නොහිටියා නම්..!”

5625

2021 විස්සයි විස්ස ලෝක කුසලානය නියෝජනය කිරීම සඳහා නම් කළ ඉන්දීය සංචිතයේ Yuzvendra Chahalගේ නම නොමැති වීම එවකට බොහෝ මතභේද වලට තුඩු දුන් තීරණයක් වුනා. 

Virat Kohli විසින් නායකත්වය දැරූ මෙම තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයෙන් ම පාකිස්තානය හමුවේ කඩුලු 10ක පරාජයක් ලැබූ අතර, දෙවැනි තරගයෙන් නවසීලන්තය හමුවේ කඩුලු 9ක පරාජයක් උරුම කර ගැනීමට ඔවුන්ට සිදු වුනා. 

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය ද එම වටයෙන් ම නිමා වූ අතර මෙම සිදුවීම නිසා නැවතත් එම සංචිතය වෙනුවෙන් Yuzvendra Chahalගේ නම ඇතුළත් නොවීම පිළිබඳ කතිකාවතට පණ ලැබුණා.  

මෙහි දී විශේෂයෙන්ම සඳහන් වූ තර්කයක් වූයේ 2021 විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ වල දී Chahal විසින් ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වී තිබීමයි. 

එක්සත් අරාබි එමීර් හිදි පැවැත්වුණු 2020 IPL තරගාවලියේ දී කඩුලු 21ක් බිඳ හෙළීමට Chahal විසින් සමත් වුනා. එමෙන්ම 2021 IPL තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණු කොටසේ දී ද Chahal විසින් කඩුලු අතරට පිවිසුණා. 

නමුත් කෙතරම් දක්ෂතා පෙන්වා තිබුණ ද එම ලෝක කුසලාන සංචිතයේ Chahal වෙනුවෙන් ඉඩක් වෙන් වී තිබුණේ නැහැ. 

මාව 2021 ලෝක කුසලානය සඳහා තෝරා නොගත් වෙලාවේ මට ලොකු දුකක් දැනුණා. මට ඒ වෙලාවේ ඩුබායි වල IPL ක්‍රීඩා කරන්න නියමිත වෙලා හිටියේ. ඒ වෙලාවේ ඇය (බිරිඳ) මාත් එක්ක හිටියා. අපිට ඩුබායි වෙත යන්න ගුවන් යානයක් අල්ලගන්න තිබුණා.” 

2021 IPL තරගාවලියේ මුල් භාගය (මුල් තරග 29) ඉන්දියාවේ දී පැවැත්වුණු අතර පසුව කොරෝනා වසංගතය නිසා තරගාවලිය කල් දැමීමට සිදු වුනා. එම නිසා තරගාවලියේ ඉතිරි කොටස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණු අතර එම තරග ආරම්භ වුනේ සැප්තැම්බර් 19 වැනිදායි. 

නමුත් එම වසරේ සැප්තැම්බර් 08 වැනිදාට ආසන්න දිනක දී 2021 ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කළා. එතෙක් IPL තරගාවලියේ ඉන්දියාවේ පවත්වා තිබූ කොටසේ දී එතරම් සාර්ථකත්වයක් නොපෙන්වූ Chahal වෙනුවට Rahul Chaharව ඉන්දීය සංචිතයට කැඳවමින් එවකට ඉන්දීය නායක Kohli විසින් සඳහන් කලේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී Chaharගේ පන්දු යැවීම වඩාත් උචිත වනු ඇති බවයි. 

“ඒක දුෂ්කර තීරණයක්, අපි Rahul Chaharව තෝරා ගත්තේ හේතුවක් ඇතිවයි. ඔහු තරමක් වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයෙක්. ඒ වගේ ම එංගලන්තයට සහ ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් ක්‍රීඩා කළා.” 

කෙසේ වෙතත් ඉන්දීය සංචිතය නම් කිරීමෙන් පසු පැවැත්වුණු 2021 IPL තරගාවලියේ දෙවන අදියරේ දී Chahal නැවතත් දක්ෂතා අතරට පිවිසීමට සමත් වූ අතර ඔහු එවර තරගාවලිය නිමා වන විට කඩුලු 18ක් දවා ගැනීමට සමත් වී සිටියා. 

එම කාල සීමාව තුළ සිය බිරිඳ තමන් සමඟ සිටිමින් දැක්වූ සහය නොවන්නට ඔහු තවත් කලකිරීමට පත් වීමට ඉඩ තිබූ බව දැන් Chahal විසින් සඳහන් කරනවා. 

“හොඳම දේ තමයි ඇය (බිරිඳ) මා සමඟ සිටීම. ඒ නිසා මට මගේ තරහ පාලනය කර ගන්න පුළුවන් වුනා. ඇය එතන නොහිටියා නම් මම තවත් කලකිරීමට පත් වෙන්න ඉඩ තිබුණා. 

අපි එකට ව්‍යායාම කළා, අපි චිත්‍රපටි බලමින් කාලය ගත කළා. 

වුන දේ වුනා කියලා ඇය මට තේරුම් කරලා දුන්නා. ඉතිරි වෙලා තිබුණු තරග 7 වෙනුවෙන් RCB වෙත මාව අවශ්‍ය බව ඇය තේරුම් කරලා දුන්නා.  

ඇය මට කිව්වේ ඔබ විසින් ම ඔප්පු කරන්න, ක්‍රීඩා පිටියේ දී මගේ තරහා පිට කරගන්න කියලා.  

මම තේරුම් ගත්තා ඇය නිවැරදි බව. පසුව මම මගේ තරහ සහ කලකිරීම ක්‍රීඩා පිටියේ දී පිට කරලා දැම්මා.” 

තමන් වෙත සිදු කළ නොසලකා හැරීමෙන් පන්නරය ලබමින් 2021 IPL තරගාවලියේ ඉතිරි කොටස සාර්ථකව නිම කිරීමට තමන් සමත් වූ බව Chahal පවසනවා. 

නමුත් එවකට ඉන්දීය කණ්ඩායමේ නායකයා වූ Virat විසින් ම RCB කණ්ඩායම ද මෙහෙයවූ නිසා තමන්ට තරමක අමුතු හැඟීමක් දැනුණු බවයි Chahal පවසන්නේ. 

“Virat ඉන්දීය කණ්ඩායමේ නායකයාත් වුන නිසා සහ මම ඔහු යටතේ IPL ක්‍රීඩා කළ නිසා මට අමුත්තක් දැනුණා. නමුත් මම කවදාවත් ඇහුවේ නැහැ ඇයි මාව තෝරා ගත්තේ නැත්තේ කියලා.” 

මෑතක දී Chahal විසින් සහභාගී වූ Podcast වැඩසටහනක දී ඔහු මේ බව පවසා සිටියා. 

සිය බිරිඳගේ සහය ද සහිත ව නැවත නැගී සිටියත් එය තමන් විසින් ගත කළ කණගාටුදායක ම කාලසීමාවක් බව දැන් ඔහු සඳහන් කරනවා. 

“නමුත් ඔව්, ඒ තමයි මම ගත කළ කණගාටුදායක ම කාලය.” 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Hindustan Times ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<