ඉසිපතන සහ සාන්ත පීතර ක්‍රීඩකයින් අපරාජිකත්වය රැක ගනී

1460

Dialog පාසල් රග්බි ලීගයේ පස්වැනි සතියේ තරග පසුගිය දා අවසන් වුනා. එම සතියේ පැවති තරගවලින් ජයග්‍රහණය ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට ඉසිපතන, සාන්ත පීතර, රාජකීය, ඩී. එස්. සේනානායක, සාන්ත තෝමස් සහ ත්‍රිත්ව කණ්ඩායම් සමත් වුනා.

ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය

පස්වැනි සතිය ආරම්භ කරමින් කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයෙන් තියුණු සටනකට පසු 31-27ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් සමත් වුනා.

සත්කාරක ක්‍රීඩාංගණයේ දී සිය කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන් මනුර පීරිස් පළමු උත්සාහක දිනුම වාර්තා කරද්දී, එහි ප්‍රවර්තනය ජනිඳු විජේරත්න විසින් සාර්ථක කර ගත්තා.

ඉන් කෙටි වේලාවකට පසුව ක්‍රියාත්මක වූ DS නායක ජයතු රාජරත්න විසින් උත්සාහක දිනුමක් වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට රැගෙන ආවා. එහි ප්‍රවර්තනය ද ජනිඳු සාර්ථක කර ගත්තා.

පළමු අර්ධය තුළ ප්‍රතිවාදීන් තවත් අසරණ කරමින් සිය දෙවැනි උත්සාහක දිනුම මනුර විසින් වාර්තා කරද්දී, එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගනිමින් තරගයේ වැඩි ගෞරවය සිය කණ්ඩායමට දිනා දෙන්නට ජනිඳු සමත් වුනා.

කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට තරමක සහනයක් වෙමින් අනුද සිකුරාජපති විසින් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය නායක ඉමංක ඉෂාර සාර්ථක කර ගත්තා.

දෙවැනි අර්ධය ආරම්භයේම ක්‍රියාත්මක වූ කිංග්ස්වුඩ් වෙනුවෙන්  Ihsan Inoon දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද ඉෂාර සාර්ථකව අවසන් කළා.

ඒ සමඟම හිමි වූ දඬුවම් පහරක් ද සාර්ථකව එල්ල කළ ඉමංක ඉෂාර කණ්ඩායමේ ලකුණු පරතරය 4ක් දක්වා අඩු කිරීමට සමත් වුනේ සිය කණ්ඩායම නැවත තරගයට අවතීර්ණ කරමිනුයි.

නමුත් සිය කණ්ඩායමට අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වූ මනුර පීරිස් දිනයේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරද්දී, එහි ප්‍රවර්තනය ද ජනිඳු සාර්ථකව අවසන් කිරීමට සමත් වුනා.

එයට පිළිතුරු ලෙස තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට Ihsan Inoonට හැකි වූවත් ඉතා වැදගත් වූ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

තරගයේ අවසන් භාගයේ හිමි වූ දඬුවම් පහරක් ඉතා සාර්ථකව එල්ල කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට තරගය පුරාවට කැපී පෙනෙන ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ජනිඳු විජේරත්නට හැකි වුනා.

සත්කාරක ක්‍රීඩකයින්ට තරමක පීඩනයක් එල්ල කරමින් සිය කණ්ඩායමේ සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට දෙව්මින් හේවගේට හැකි වූවත් එයින් පසුව කිසිදු ලකුණක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වූ නිසා තරගයේ ජයග්‍රහණය ඩී. එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩකයින්ට හිමි වුනා.

NDB තරගයේ වීරයා: මනුර පීරිස් (ඩී. එස්. සේනානායක විද්‍යාලය) 

අවසන් ලකුණු තත්වය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 31 (4T, 4C,1P) – 27 (4T,2C,1P) කිංග්ස්වුඩ් විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – මනුර පීරිස් 3T, ජනිඳු විජේරත්න 4C & 1P, ජයතු රාජරත්න 1T.
  • කිංග්ස්වුඩ් විද්‍යාලය – ඉමංක ඉෂාර 2C & 1P, Ihsan Inoon 2T, අනුද සිකුරාජපති 1T, දෙව්මින් හේවගේ 1T.

රාජකීය විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය

දෙපිලටම දෝලනය වූ තරගයකින් පසු ධර්මරාජ ක්‍රීඩකයින් ලකුණු 36-18ක් ලෙස පරාජය කරමින් තවත් ජයග්‍රහණයක් ලබා ගැනීමට රාජකීය ක්‍රීඩකයින් සමත් වුනා.

රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මෙම තරගයේ පළමු ලකුණ දඬුවම් පහරකින් වාර්තා කිරීමට ධර්මරාජ ක්‍රීඩකයින්ට හැකි වුනා. ඔවුන් වෙනුවෙන් සදීෂ වීරවංශ එම දඬුවම් පහර එල්ල කළා.

එයින් කෙටි වේලාවකට පසු තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සදීෂට හැකි වුනේ රාජකීය විද්‍යාල ක්‍රීඩකයින්ට තරග ආරම්භයේම දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.

රාජකීය විද්‍යාල ක්‍රීඩකයින් සිදු කළ තවත් වරදක් නිසා හිමි වූ තෙවැනි දඬුවම් පහරත් සදීෂ වීරවංශ ඉතා සාර්ථක ලෙස එල්ල කිරීමට සමත් වුනේ සිය ලකුණු සංඛ්‍යාව 9 දක්වා ඉහළ දමමිනුයි.

සිය කණ්ඩායමේ පසුබැසීමට තිත තබමින් රාජකීය විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම අමික සරසිංහ විසින් සාර්ථක කර ගනිද්දී, සිමාක් ශෆීක් එහි ප්‍රවර්තනය සාර්ථකව අවසන් කළා.

රාජකීය ක්‍රීඩකයින් තරගයේ පෙරමුණට ගෙන එමින් Naqeeb Mohommad සිය කණ්ඩායමේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

පළමු අර්ධය අවසන් වීමට පෙර හිමි වූ තවත් දඬුවම් පහරක් ඉතා සාර්ථකව එල්ල කරමින් පළමු අර්ධය ලකුණු සමව අවසන් කිරීමට ධර්මරාජ ක්‍රීඩකයින්ට හැකි වුනා.

දෙවැනි අර්ධය ආරම්භයේ ක්‍රියාත්මක වූ චාරුක සෙනවිරත්න සිය කණ්ඩායම වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය Nabeel Yahiya සාර්ථකව එල්ල කළා.

ධර්මරාජ කණ්ඩායමෙන් තරගය දුරස් කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට කවිනාශ් ශ්‍රීකාන්ත් සමත් වෙද්දී, එහි ප්‍රවර්තනය ද Yahiya සාර්ථකව අවසන් කළා.

රාජකීය විද්‍යාල ක්‍රීඩකයින් සිදු කළ වැරදි වැළැක්වීමක් නිසා හිමි වූ පස්වැනි දඬුවම් පහර ද සාර්ථකව එල්ල කිරීමට සදීෂට හැකි වුනේ සිය කණ්ඩායමට නැවතත් බලාපොරොත්තු ගෙන දෙමිනුයි.

රාජකීය විද්‍යාලය වෙනුවෙන් Naqeeb Mohommad සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කරද්දී, පස්වැනි උත්සාහක දිනුම අමික සමරසිංහ වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තන අවස්ථා දෙකම සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

තරගය අවසන් වීමට කෙටි වෙලාවක් තිබිය දී හිමි වූ හයවැනි දඬුවම් පහර ද ඉතා සාර්ථකව එල්ල කිරීමට ධර්මරාජ ක්‍රීඩක සදීෂ වීරවංශට හැකි වුනා.

NDB තරගයේ වීරයා: යෙහාන් වීරසූරිය (රාජකීය විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 36 (6T, 3C) – 18 (6P) ධර්මරාජ විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • රාජකීය විද්‍යාලය – Naqeeb Mohommad 2T, අමික සමරසිංහ 2T, සිමාක් ශෆීක් 1C, Nabeel Yahiya 2C, කවිනාශ් ශ්‍රීකාන්ත් 1T, චාරුක සෙනවිරත්න 1T.
  • ධර්මරාජ විද්‍යාලය – සදීෂ වීරවංශ 6P.

ඉසිපතන විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ලකුණු 37 – 26ක් ලෙස පරාජය කරමින් ලීග් ශූරතාවයට තවත් පියවරක් සමීප වීමට වත්මන් ශූර ඉසිපතන ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ පස්වැනි මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහරක් ඉතා සාර්ථකව එල්ල කරමින් තරගයේ පළමු ලකුණු වාර්තා කිරීමට ඉසිපතන ක්‍රීඩක රිනේෂ් සිල්වාට හැකි වුනේ තවත් සාර්ථක ආරම්භයක් ලබා ගනිමිනුයි.

එයින් කෙටි වේලාවකට පසුව නැවතත් දඬුවම් පහරක් සාර්ථකව එල්ල කිරීමට රිනේෂ් සිල්වාට හැකි වුනා.

දිනයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් ඉසිපතන කණ්ඩායමට ප්‍රබල පෙරමුණක් ලබා දීමට නිසජ ජයවීරට හැකි වූවත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රිනේෂ්ට හැකි වුනේ නැහැ.

කෙටි වෙලාවක් තුළ ක්‍රියාත්මක වූ රිනේෂ් සිය කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරමින් එහි ප්‍රවර්තනය ද ඉතා සාර්ථකව අවසන් කිරීමට රිනේෂ්ට හැකි වුනා.

සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වෙනුවෙන් පළමු උත්සාහක දිනුම මීටර් 60ක පමණක් ධාවනයකින් පසුව වාර්තා කිරීමට රොෂේන් කුමාර සමත් වුනා.

දෙවැනි අර්ධයේ දී නැවතත් ක්‍රියාත්මක වූ නිසජ දිනයේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වෙද්දී, එහි ප්‍රවර්තනය ද රිනේෂ් සිල්වා සාර්ථකව අවසන් කළා.

තරගය පුරාවට කැපී පෙනෙන ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ රිනේෂ් සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූවත් එහි ප්‍රවර්තනය ඔහුට සාර්ථක කර ගැනීමට හැකි වුනේ නැහැ.

ඉසිපතනය වෙනුවෙන් පස්වැනි සහ අවසන් උත්සාහක දිනුම ට්‍රොශාන් ගමගේ විසින් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථකව අවසන් කරමින් කණ්ඩායම ප්‍රබල තත්වයකට ගෙන ඒමට රිනේෂ්ට හැකි වුනා.

මෙතෙක් වෙලා නිහඬව සිටි සාන්ත අන්තෝනි කණ්ඩායම වෙනුවෙන් Jude Realano උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර කීර්තිසිරි විසින් එහි ප්‍රවර්තනය සාර්ථකව අවසන් කළා.

එම උත්සාහක දිනුමෙන් පසුව ඉතා හොඳින් ක්‍රීඩා කළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් වෙනුවෙන් සඳුක අතුකෝරළ තෙවැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද කීර්තිසිරි සාර්ථකව එල්ල කළා.

සාන්ත අන්තෝනි කණ්ඩායම වෙනුවෙන් අවසන් උත්සාහක දිනුම ටිරෝන් මාරියදාස් විසින් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද සහන් කීර්තිසිරි එල්ල කළත් තරගයේ වෙනසක් කිරීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

මෙම ජයග්‍රහණය සමඟ මෙවර තරගාවලියේත් අපරාජිතව සුපිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට හැකි වුනා.

NDB තරගයේ වීරයා: නිසල ජයවීර (ඉසිපතන විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 36 (5T, 3C, 2P) – 26 (4T, 3C) සාන්ත අන්තෝනි විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • ඉසිපතන විද්‍යාලය – නිසල ජයවීර 2T, රිනේෂ් සිල්වා 2T, 3C & 2P, ට්‍රොශාන් ගමගේ 1
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – රොෂාන් කුමාර 1T, Jude Realano 1T, සඳුක අතුකෝරල 1T, ටිරෝන් මාරියදාස් 1T, සහන් කීර්තිසිරි 3

සාන්ත පීතර විද්‍යාලය සහ සහිරා විද්‍යාලය

මරදාන සහිරා විද්‍යාලයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිය අපරාජිකත්වය රැක ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර ක්‍රීඩකයින්ට හැකි වුනා.

සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගැනීමට ආරම්භ කළ සාන්ත පීතර නායක සුදේශ් ජයවික්‍රම පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වෙද්දී, රාහුල් පීටර් එහි ප්‍රවර්තනය සාර්ථකව අවසන් කළා.

රාහුල් සිය කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහරක් ද සාර්ථකව අවසන් කිරීමට සමත් වූ අතර සදෙව් ගමගේ වාර්තා කළ උත්සාහක දිනුම නිසා පළමු අර්ධය 15-0ක් ලෙස අවසන් කිරීමට සාන්ත පීතර ක්‍රීඩකයින්ට හැකි වුන.

දෙවැනි අර්ධයේ දී සිය කණ්ඩායමට ප්‍රබල ආරම්භයක් ලබා දුන් සාන්ත පීතර නායක අශේන් මදුගස්පේ ලබා දුන් පන්දුවක් සාර්ථකව සීමා ඉර පසු කර රැගෙන යමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට මෙතුසර විශ්මිකට හැකි වුනා.

සහිරා ක්‍රීඩකයින් තවත් අසරණ කරමින් ඒඩින් ප්‍රනාන්දු සහ ප්‍රනීත් සිල්වා උත්සාහක දිනුම් ද්විතවයක් වාර්තා කිරීමට සමත් වෙද්දී, එහි ප්‍රවර්තන අවස්ථා සාර්ථකව අවසන් කිරීමට කුශාන් තරිඳුට හැකි වුනා.

සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් සුදේශ් ජයවික්‍රම හයවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර එමිත් ජයවීර එහි ප්‍රවර්තනය සාර්ථකව එල්ල කිරීමට සමත් වුනා.

සහිරා ක්‍රීඩකයින්ට තරමක සහනයක් ගෙන දෙමින් Sabri Sahibo පළමු උත්සාහක දිනුම වාර්තා කරද්දී, අහමද් සාද් විසින් එහි ප්‍රවර්තන අවස්ථාව ඉතා සාර්ථකව අවසන් කළා.

පසිඳු බණ්ඩාර සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරද්දී, ප්‍රනීත් සිල්වා තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කළා.

NDB තරගයේ වීරයා: සුදේශ් ජයවික්‍රම (සාන්ත පීතර විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 56 (9T,4C,1P) – 07 (1T,1C) සහිරා විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • සහිරා විද්‍යාලය – Sabri Sahibo 1T, අහමද් සාද් 1C.
  • සාන්ත පීතර විද්‍යාලය – පසිඳු බණ්ඩාර 2T, සදෙව් ගමගේ 1T, මෙතුසර විශ්මික 1T, ඒඩින් ප්‍රනාන්දු 1T, සුදේශ් ජයවික්‍රම 1T, ප්‍රනීත් සිල්වා 3T, රාහුල් පීටර් 1C, කුශාන් තරිඳු 2C, එමිත් ජයවීර 1C, රාහුල් පීටර් 1P.

Dialog පාසල් රග්බි ලීගයේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<