Ballon d’Or මඟ හැරුණු මෙසී

500

මේ වන විට ලොව වැඩිම වතාවක් Ballon d’Or (බැලන් ඩි’ඔර්) සම්මානය දිනා ඇති ක්‍රීඩකයා වන ආජන්ටිනා ජාතික Lionel Messi (ලියොනල් මෙසී) හට අටවැනි වාරය එතරම් කාරුණික වූයේ නැහැ.

Barcelona (බාසිලෝනා) කණ්ඩායම හැර යාමෙන් පසුව දැනට Paris Saint-Germain (පැරිස් සෙන්ට් ජර්මේන්) කණ්ඩායම කරමින් සිටින 35 හැවිරිදි මෙසී හට තවමත් පාපන්දු ලොවේ ඉහළ වටිනාකමක් හිමියි. එහෙත් මේ වසරේ බැලන් ඩි’ඔර් සම්මානයට නිර්දේශ කරනු ලැබූ තිස්දෙනෙකුගෙන් යුත් නාමාවලියටවත් ඔහුගේ නම ඇතුළත් වූයේ නැහැ.

බැලන් ඩි’ඔර් සම්මානය සැලකෙන්නේ ලොව ක්‍රීඩකයන්ට පිදෙන සම්මාන අතරින් ඉහළම සම්මානය ලෙසයි. 1956 සිට ප්‍රංශ සඟරාවක් විසින් පුදකෙරෙනු ලැබූ සම්මානය 2010න් පසුව “FIFA වසරේ පාපන්දු ක්‍රීඩකයා” යන සම්මානය හා ඒකාබද්ධ කරනු ලැබුවා. සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී මින් පෙර හත්වතාවක් එය දිනාගෙන තිබෙනවා. ඉන් හත්වැන්න ඔහු විසින් දිනා ගත්තේ පසුගිය වසරේදී යි.

>> Ballon d’Or වංශයේ ශ්‍රේෂ්ඨ නාමාවලිය

2006 සිට සෑම වසරක දී ම ඔහු බැලන් ඩි’ඔර් සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ සාමාජිකයෙකු වුනා. ඔහු ඉන් ඉවත්ව තිබුණේ 2018 දී පමණයි. 2007 සිට සෑම වසරක දී ම ඔහු ලැයිස්තුවේ පළමු තිදෙනා ඇතුළත රැඳුණා.

Inside Sport
ලියොනල් මෙසී

මෙවර නිර්ණායක වලට අනුව “තරග වාරයක දී අදාළ ක්‍රීඩකයා විසින් දක්වන පෞද්ගලික දස්කම්” මෙන්ම “ජයග්‍රහණයට ඔහුගේ තීරක බලපැවැත්වීම සහ ආකර්ෂණීය චරිත ස්වභාවයත්” සැලකිල්ලට ගැනෙනවා.

වසර ගණනාවක් පුරා පාපන්දු ලෝලීන්ගේ ආදරය දිනාගෙන සිටින මෙසීගේ ජනප්‍රියත්වය බාසිලෝනා කණ්ඩායමෙන් ඉවත් වීමෙන් පසුව යම් වෙනස්වීමකට ලක්ව තිබෙනවා ද?

පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමට ඇතුළත් වූයේ අප හොඳින්ම දන්නා දස්කම් වලින් පරිපූර්ණ ලියොනල් මෙසීම වුවත්, බාසිලෝනා කණ්ඩායමේ දී මෙන් ඔහුගේ සෙසු ක්‍රීඩකයන් හා බැඳීමක් ඇති කරගැනීමට තරම් ඔහුට කාලය ලැබුණේ නැහැ. එබැවින් කණ්ඩායමේ ජයග්‍රහණයට ඔහුගේ බලපෑම අඩු වී තිබෙනවා.

UEFA Champions League (යුරෝ ශූරයන්ගේ කුසලාන) තරගාවලියේ දී ඔහු ක්‍රීඩා කරන පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම අවසන් 16 දෙනාගේ වටයෙන් ඉවතට විසි වුනා. ගෝල රැස්කිරීමේ සමතෙකු ලෙස සැලකෙන මෙසී පැරිස් හිදී එතරම් සාර්ථකත්වයක් පෙන්වා නැහැ. ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයෙකුම වන Neymar Jr. (නේමාර් ජූනියර්) ද මෙවර නිර්දේශිත 30 දෙනා ඇතුළත නැහැ.

එළඹෙන ඔක්තෝබර් 17 වැනිදා පිරිනැමෙන පාපන්දු ලොවේ ඉහළම පෞද්ගලික සම්මානය කාට හිමි වෙවි දැයි මේ වන විට විශාල කතාබහක් පවතිනවා.

මේ වන විට Real Madrid (රියාල් මැඩ්රිඩ්) කණ්ඩායමේ නායක Karim Benzema (කරීම් බෙන්සිමා), Thibaut Courtois (තිබෝ කෝර්ටුවා), බාසිලෝනා කණ්ඩායම නියෝජනය කරන Robert Lewandowski (රොබට් ලෙවැන්ඩොව්ස්කි),  Liverpool (ලිවර්පූල්) කණ්ඩායමේ Mohammed Salah (මොහොමඩ් සලා), Virgil Van-Dijk (වර්ජිල් වැන් ඩයික්) එහි ඉදිරියෙන්ම සිටින සාමාජිකයින්.

මෙසී සමඟින් ක්‍රීඩා කරන පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමේ ප්‍රහාරක Kyllian Mbappe (කිලියන් ම්බාපේ) ද නිර්දේශිත 30 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වන අතර මෙසී සමඟින් දස්කම් සටනක නිරත වන 37 හැවිරිදි Cristiano Ronaldo (ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ) ද Manchester United (මැන්චෙස්ටර් යුනයිටඩ්) කණ්ඩායම නියෝජනය කරමින් එම ලැයිස්තුවේ සිටිනවා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ වන විට බැලන් ඩි’ඔර් සම්මාන 5ක් දිනාගෙන තිබෙනවා. ඔහුට වඩා උක්ත සම්මාන දෙකක් දිනා ඇති මෙසී මේ වසරේ දී ඉන් පිටතයි රැඳෙන්නේ.

විචාරක මතය වන්නේ ප්‍රංශ ජාතික කරීම් බෙන්සිමා, එරට පස්වැනි බැලන් ඩි’ඔර් ජයග්‍රාහකයා වීමට බොහෝ ඉඩකඩ ඇති බවයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<