බංග්ලාදේශ තරගයට හතුරුගේ පීඩනයත් එක්වෙයි!

ICC World Cup 2023

903
ICC World Cup 2023

13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 8 වැනි තරගය (ලෝක කුසලාන තරගාවලියේ 38 වැනි තරගය), බංග්ලාදේශය සමඟින් හෙට (06) Delhi, Arun Jaitley ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

හෙට තරගයේ දී හමුවෙන මෙම කණ්ඩායම් 2ට ම මෙවර ලෝක කුසලානයේ ඉදිරි ගමනක් නොමැති වූව ද, මෙහි ජයග්‍රහණය දෙපිලට ම එක සේ වැදගත් වෙනවා. ඒ 2025 වසරේ දී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ දී මෙම ජයග්‍රහණය බලපෑමකට ලක් වන බැවිනුයි.

එම තරගාවලිය සඳහා ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු කණ්ඩායම් 8 පමණක් සහභාගී කර ගන්නා බවට මේ වන විට ද නිවේදනය කර තිබෙන අතර බංග්ලාදේශය මේ වෙද්දීත් සිටින්නේ එහි 9 වැනි ස්ථානයේයි. ශ්‍රී ලංකාව මේ වෙද්දී එහි 7 වැනි ස්ථානයට හිමිකම් කියනවා.

දෙරට ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ මෙතෙක් තරග 53ක් පවත්වා ඇති අතර ඉන් තරග 42ක ජය වාර්තා කර ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවයි. බංග්ලාදේශය දිනා ඇති තරග සංඛ්‍යාව 9ක් වන අතර තවත් තරග 2ක් විසඳුමකින් තොරව අවසන් කර තිබෙනවා.

ලෝක කුසලාන තරගවල දී දෙරට ක්‍රීඩකයෝ මෙතෙක් තරග 3කට සහභාගී වී ඇති අතර ඒ තරග 3න් ම ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකාවයි.

මේ විසඳුම් කෙසේ වෙතත්, බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ දක්ෂතා සහ සැලසුම් ද මෙම තරගයේ දී අප රටට එරෙහි ව උපරිමයෙන් ම යොදා ගනු ඇතැයි සිතිය හැකි. ඒ ඔහුට ද මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය සාධකයක් වන බැවිනුයි. ඒ මතයි ඔවුන්ට ශූරයන්ගේ කුසලානයට සහභාගී වීමේ යම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට හැක්කේ.

එබැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙම තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ පීඩනයන්ට අමතරව, ශ්‍රී ලංකාවේ හිටපු පුහුණුකරු, චන්දික හතුරුසිංහගේ පීඩනයන් ද දරාගෙන පිටියට පිවසීමට සිදු වෙනු නියතයි.

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (ආබාධයකින් එළියට- ඒ වෙනුවට චාමික කරුණාරත්න), කුසල් මෙන්ඩිස් (නායක), කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර (ආබාධයකින් එළියට – ඒ වෙනුවට දුෂ්මන්ත චමීර), දිල්ෂාන් මදුශංක, කසුන් රාජිත, මතීෂ පතිරණ (ආබාධයකින් එළියට – ඒ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස්)

බංග්ලාදේශ සංචිතය: Shakib Al Hasan (නායක), Litton Kumer Das, Tanzid Hasan Tamim, Najmul Hossain Shanto, Tawhid Hridoy, Mushfiqur Rahim, Mahmudullah Riyad, Mehidy Hasan Miraz, Nasum Ahmed, Shak Mahedi Hasan, Taskin Ahmed, Mustafizur Rahman, Hasan Mahmud, Shoriful Islam, Tanzim Hasan Sakib.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

කෙතරම් සූදානම් වූවත් තඹ දොයිතුවකට විශ්වාස කළ නොහැකි කණ්ඩායමක් සේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නම් වී අවසන්. එසේ වූවත් මේ අපේ කණ්ඩායම යැයි යන හැඟීම තව දුරටත් අප කා තුළත් තිබෙනවා.

එබැවින් පෙර තරගයේ සේ ම මේ දක්වා තරගාවලියේ පෑ දුර්වලතා හේතුවෙන් එහි යම් හෝ මඟ හැර ගැනීමක් අවශ්‍ය වේ නම්, පළමුවෙන් ම කළ යුත්තේ තම තමන්ගේ අඩු-පාඩු මඟ හරවා ගනිමින් තරගයට පිවිසීමයි. එසේ නොමැතිව මේ අවමානයේ අඩුවක් කිසිවෙක්ටත් බලාපොරොත්තු විය නොහැකි.

මේ වෙද්දී බංග්ලාදේශය සමඟ සූදානම් වන, ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා අතරින් යම් හෝ සැනසීමකට ඇත්තේ දිල්ශාන් මධුශංක මෙවර තරගාවලියේ කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට හිමිකම් කීමයි. ඔහු මෙතෙක් මෙම තරගාවලියේ දී තරග 7කට සහභාගී වෙමින් කඩුලු 18ක් ලබා සිටිනවා.

අනෙකුත් පන්දු යවන්නන් අ‍ෙරින් යම් තරමකට හෝ දක්ෂතා දක්වා ඇත්තේ කසුන් රාජිතයි. නමුත් ඔහු එක් කඩුල්ලක් වෙනුවෙන් ලබා දී ඇති ලකුණු 36.12ක් වන අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 8ක් පමණයි.

පිතිකරුවන් අතරින් සදීර සමරවික්‍රම ලකුණු 331ක්, පැතුම් නිස්සංක ලකුණු 289ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 221ක් සහ චරිත් අසලංක ලකුණු 172ක් ලබා ගනිමින් පිතිකරුවන් ලෙසින් යම් තරමක ප්‍රවනතාවක් දක්වා තිබෙනවා. නමුත් ඔවුන්ගේ දක්ෂතා විශ්වසනීය නොවීමයි, කණ්ඩායමක් ලෙසින් මේ වෙද්දී අර්බුදයට ලක්ව ඇත්තේ. එබැවින් ඔවුන් මඟ හරවා ගත යුත්තේ එයයි.

බංග්ලාදේශයට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන ශ්‍රී ලංකා කණ්ඩායම: කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, දුශාන් හේමන්ත/ දුනිත් වෙල්ලාලගේ, ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, දිල්ෂාන් මදුශංක.

බංග්ලාදේශයේ සූදානම

බංග්ලාදේශ කණ්ඩායම මෙම තරගයට එක් වෙන්නේ සහභාගී වූ ආසන්ත ම තරග 6 ම පරාජය වෙමිනුයි. ඔවුන් තරගාවලියේ සහභාගී වූ පළමු තරගයේ දී ම ඇෆ්ගනිස්තානයට එරෙහිව ජයග්‍රහණයක් ලබා ගනිමින් කදිම ආරම්භයක් ලබා ගත්ත ද, එතැන් සිට කිසිඳු තරගයක් ඒ ආකාරයෙන් අවසන් කිරීමට ඔවුන්ට හැකි වූයේ නැහැ.

බංග්ලාදේශ පිතිකරුවන් අතරින් වඩාත් විශ්වාසන්ත සගයා වී සිටින්නේ Mahmudullah Riyad. ඔහු කණ්ඩායමේ එක ම ශතකලාභියා වෙමින් තරග 6ක ඉනිම් 5ක දී ලකුණු 274ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය දැක්වෙන්නේ 68.50ක් ලෙසයි. එමෙන් ම ඔහු පෙර තරගයේ දී අර්ධ ශතකයක් (56) ලබා ගනිමින් ද එම විශ්වාසය තවදුරටත් තහවුරු කරගෙන සිටිනවා.

ඊට අමතරව තරග 7ක දී අර්ධ ශතක 2ක් සමඟන් ලකුණු 287ක් ලබා සිටින Litton Das, තරග 7ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 171ක් ලබා සිටින Mushfiqur Rahim කණ්ඩායමේ විශ්වාසවන්ත පිතිකරුවන් වී සිටිනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරින් පුමුඛයෙන් ම කියැවෙන්නේ Mehidy Hasan Miraz ගැනයි. ඔහු පිතිකරුවෙක් ලෙසින් තරග 7ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 171ක් ද සහ කඩුලු 9ක් ද ලබා ගනිමින් එම ස්ථානය තහවුරු කරගෙන සිටිනවා.

ඊට අමතර ව Shakib Al Hasan, ලකුණු 104ක් සහ කඩුලු 7ක් ලබා ගනිමින් ද දක්ෂතා දක්වා තිබෙනවා.

පන්දු යැවීමේ දී Shoriful Islam සහ Mahedi Hasan ද ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට තර්ජනයක් විය හැකියැයි අනුමාන කළ හැකි.

එම දක්ෂතා කෙසේ වූවත් ඔවුන්ගේ පරාජිත තරග පෙරහැර හේතුවෙන් මේ දක්ෂතා කෙසේ මෙම තරගයට අනුගත වේ දැයි සිතා ගන්නට බැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමට සේ ම ඔවුන්ට ද දැන් අවශ්‍ය වන්නේ ජයග්‍රහණයයි.

එබැවින් ඔවුන් මෙම තරගය ජයග්‍රහණය කරමින් තම ජාමේ බේරා ගැනීමට හැකි සෑම උත්සාහයක් ම දරණු නියතයි. ඊට ඔවුන් පෙර තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් ම මෙම තරගයේදීත් නම් කරතැයි සිතිය හැකියි.

ශ්‍රී ලංකාවට එරෙහි ව නම් කෙරෙතැයි සිතෙන බංග්ලාදේශ කණ්ඩායම: Shakib Al Hasan (නායක), Tanzid Hasan, Litton Das, Najmul Hossain Shanto, Mushfiqur Rahim (කඩුලු රකින්නා), Mahmudullah Riyad, Tawhid Hridoy, Mehidy Hasan Miraz, Taskin Ahmed, Mustafizur Rahman, Shoriful Islam.

Delhi, Arun Jaitley ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

මෙම තරගය පැවැත්වෙන Delhi නුවර පවතින වායු දූෂණය හේතුවෙන් දෙපිලේ ම ක්‍රීඩකයන්ට සෙනසුරාදා පුහුණු සැසියන් අහිමි වුනා. එසේ වූවත් ඉරිදා පස්වරුවේ බංග්ලාදේශ ක්‍රීඩකයෝ එම තත්ත්වය යටතේ ම කෙටි පුහුණුවිමක නිරත වූ බවයි එරට ආරංචි මාර්ග පවසන්නේ.

1883 දී ගොඩනැගුණ මෙම ක්‍රීඩාංගණයේ පළමු වරට ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් පවත්වන්නේ 1948 වසරේ දීයි. ඉන් තවත් වසර 32කට පසුව එළැඹි 1982 දී වසරේ සිට එක්දින ජාත්‍යන්තර තරග සඳහා ද විවෘත වන මෙම ක්‍රීඩාංගණය මේ දක්වා පවත්වා ඇත්තේ එක්දින ජාත්‍යන්තර තරග 30ක් පමණයි.

ඒ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මංගල තරගයත් සමඟ තවත් තරග 5කට සහභාගී වී තිබෙනවා. ඉන් එක් තරගය බැගින් ජයග්‍රහණය සහ විසඳුමකින් තොරව අවසන් කර ඇති අතර අනෙක් සෑම තරගයක් ම නිමා වී ඇත්තේ පරාජය වෙමිනුයි.

ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාංගණයේ දී පරාජය වූ තරග අතරට මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී වාර්තා රැසක් සමඟින් අවසන් වූ දකුණු අප්‍රිකා තරගය ද වෙන අතර  බංග්ලාදේශය මෙම ක්‍රීඩාංගණයේ දී එක් වෙන පළමු තරගයයි මේ.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩාංගණය පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතිලිවලින් සමන්විත බවටයි පැවැසෙන්නේ.

දෙරට ක්‍රීඩකයන්ට මෙම තරගයේ දී එළඹිය හැකි කඩඉම්

  • සදීර සමරවික්‍රම: එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 54ක් පමණයි.
  • ඇන්ජලෝ මැතිව්ස්: එක්දින ජාත්‍යන්තර ලකුණු 6000ක් වාර්තා කිරීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 100ක් පමණයි.
  • මහීෂ් තීක්ෂණ: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 3ක් පමණයි.
  • කසුන් රාජිත: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 7ක් පමණයි.
  • Najmul Hossain Shanto: එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 5ක් පමණයි.
  • Taskin Ahmed: එක්දින ජාත්‍යන්තර කඩුලු 100ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 6ක් පමණයි.
  • Shoriful Islam: එක්දින ජාත්‍යන්තර කඩුලු 50ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 7ක් පමණයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<