අරවින්ද ICC ක්‍රිකට් විශිෂ්ටයින් අතරට!

ICC Hall of Fame

5264
Aravinda de silva to be inducted in to icc hall

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලැබිය හැකි ඉහළම මට්ටමේ පිළිගැනීමක් ලෙස සැලකෙන ICC Hall of Fame ලැයිස්තුවට හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නම ඇතුළත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ලොව බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඇගයීමට ලක් කරමින් ICCය විසින් මෙම පිළිගැනීම ලබා දෙන අතර, මෙම මස 14 වැනිදා ඉන්දියාවේ මුම්බායි හිදි පැවැත්වීමට නියමිත විශේෂ උත්සවයක දී අරවින්ද වෙත මෙම උපහාරය පිරිනැමෙනු ඇති.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකුම් ලබන අරවින්ද විසින් වසර 19ක් මුළුල්ලේ ජාත්‍යන්තර තරග 401ක දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට සමත් වුනා.

මෙහි දී ටෙස්ට් තරග 93ක් ක්‍රීඩා කළ අරවින්ද 42.97ක විශිෂ්ට පිතිකරණ සාමාන්‍යයක් ද සහිතව ලකුණු 6361ක් ලබා ගැනීමට සමත් වූ අතර, එක්දින ජාත්‍යන්තර තරග 308ක දී 34.90ක පිතිකරණ සාමාන්‍යයක් ද සමඟින් ලකුණු 9284ක් ලබා ගැනීමට ද ඔහු සමත් වුනා.

එමෙන්ම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ උච්චතම අවස්ථාව ලෙස සැලකිය හැකි 1996 ක්‍රිකට් ලෝක ශූරයින් වීමේ ගමනේ විශේෂ භූමිකාවක් නිරූපණය කළ අයෙක් ලෙස අරවින්දව හඳුන්වා දිය හැකි. එම තරගාවලිය අරවින්දගේ ක්‍රීඩා ජීවිතය සේ ම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය ද වෙනස් කළ තරගාවලියක් ලෙසයි හඳුනා ගැනෙන්නේ.

එම තරගාවලියේ දී අරවින්ද විසින් 89.60ක පිතිකරණ සාමාන්‍යයක් ද සහිතව ලකුණු 448ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ සඳහා ඉන්දියාව සමඟ පැවැත්වුණු අවසන් පූර්ව තරගයේ දී ලබා ගත් ප්‍රවේගකාරී අර්ධ ශතකය සහ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වුණු අවසන් මහා තරගයේ දී නොදැවී වාර්තා කළ විශිෂ්ට ශතකය ද ඇතුළත්.

මේ අනුව ICC Hall of Fame ලැයිස්තුවට නම ඇතුළත් වූ සිව්වැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට අරවින්ද හට අවස්ථාව හිමි වන අතර මීට පෙර මුත්තයියා මුරලිදරන් (2017), කුමාර් සංගක්කාර (2021) සහ මහේල ජයවර්ධන (2021) යන අයගේ නම් මෙම විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට ඇතුළත් වුනා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<