ලෝක කුසලානයෙන් ශූරයින්ගේ කුසලානයට කණ්ඩායම් තෝරයි!

ICC Cricket World Cup 2023 / ICC Champions Trophy 2025

6728
ICC Cricket World Cup 2023 / ICC Champions Trophy 2025

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ මූලික වටයේ මුල් ස්ථාන 7 දිනා ගන්නා කණ්ඩායම් සමඟ පාකිස්තානය, 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලියට සහභාගී වීමට නියමිත බව ICC විසින් තහවුරු කර තිබෙනවා.

2024 – 31 ක්‍රිකට් තරග සමය පිළිබඳ සැලසුම් සකස් කළ 2021 වසරේ දී මෙම තෝරා ගැනීමේ පටිපාටිය තහවුරු කර ගත් බව ICC නියෝජිතයෙකු විසින් ESPN Cricinfo වෙත තහවුරු කර තිබුණා.

නමුත් මෙම පුවත දැනට ඉන්දියාවේ ලෝක කුසලානයට සහභාගී වන සහ නොවන කණ්ඩායම් කිහිපයක් ම පුදුමයට පත් කර ඇති බවත් ESPN විසින් මෙහි දී සඳහන් කරනවා.

මේ වන විට 2023 ලෝක කුසලාන ලකුණු සටහනේ 9 සහ 10 වැනි ස්ථානවල පිළිවෙළින් බංග්ලාදේශය සහ එංගලන්තය රැඳී සිටිනවා. නමුත් 2025 ශූරයින්ගේ කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ රටවල් අටකට පමණයි. ඉන් එක් රටක් ලෙස සත්කාරක පාකිස්තානය දැනටමත් තරගාවලියට සුදුසුකම් ලබා ඇති අතර තවත් කණ්ඩායම් හතකට* තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා ගත හැකි.

*.පාකිස්තානය ලකුණු සටහනේ 9/10 වැනි ස්ථානයකට පත් වුවහොත් ඊට අමතරව මුල් කණ්ඩායම් හත ද, පාකිස්තානය ලකුණු සටහනේ මුල් ස්ථාන 8 අතරේ රැඳුනොත් ඔවුන් සමඟ එම කණ්ඩායම් 8 ද ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

ඒ අනුව මෙවර ලෝක කුසලානයට සහභාගී වීමේ වරම් අහිමි වුන බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ සහ අයර්ලන්තය වැනි කණ්ඩායම්වලට 2025 ශූරයින්ගේ කුසලානය ද දැනටමත් අහිමි වී ගොස් අවසන්.

2021 වසරේ නොවැම්බර් මාසයේ දී ICC විසින් මීළඟ තරග සමය (2024 – 31) සඳහා තරගාවලි කාලසටහන ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව 2025 සහ 2029 වර්ෂවල දී ශූරයින්ගේ කුසලාන තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙම තරගාවලි කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් යුතුව (මූලික වටය කණ්ඩායම් හතර බැගින් කාණ්ඩ දෙකකට බෙදමින් පසුව අවසන් පූර්ව සහ අවසන් මහා තරග පවත්වමින්) පැවැත්වීමට නියමිත බව ICC විසින් නිවේදනය කළා.

නමුත් 2013 සහ 2017 වර්ෂවල පැවැත්වුණු ශූරයින්ගේ කුසලාන තරගාවලි සඳහා නිශ්චිත දිනයකට අදාළ ව එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් ම රැඳෙන කණ්ඩායම් අට තෝරා ගැනීමේ පටිපාටියකුයි ක්‍රියාත්මක වුනේ.

මීට අමතරව 2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා කණ්ඩායම් තෝරා ගන්නා ආකාරය ද ICC පූර්ණ සාමාජිකයෙකු මගින් ESPN වෙත තහවුරු වී තිබෙනවා. 2027 ලෝක කුසලානය වෙනුවෙන් දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව සත්කාරකත්වය ලබා දීමට නියමිත අතර එයින් ICC පූර්ණ සාමාජික සත්කාරක රටවල් දෙක වන දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ දේශයත්, 2027 මාර්තු 31 වැනිදා වන විට එම කණ්ඩායම් දෙකට අමතරව ශ්‍රේණිගත කිරීම් හි ඉහළින් ම රැඳෙන කණ්ඩායම් 8ත්, සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියකින් තෝරා ගන්නා කණ්ඩායම් හතරකුත් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අනුව මෙවර ලෝක කුසලාන ලකුණු සටහනේ මුල් ස්ථාන හතරට පිවිසෙමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම පිළිබඳව මෙන්ම, මුල් කණ්ඩායම් අට අතරට පිවිසෙමින් ශුරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කිරීමට කණ්ඩායම්වලට සිදුවනවා.

ඊයේ (28) නෙදර්ලන්තය හමුවේ ලද පරාජයෙන් අනතුරුව බංග්ලාදේශ නායක Shakib Al Hassan විසින් ද මේ බව තහවුරු කරමින් පවසා සිටියේ, අවසන් පූර්ව තරග බලාපොරොත්තු පිළිබඳ මෙන්ම මුල් කණ්ඩායම් අට අතරට පිවිසීම ද වැදගත් බව සිහියේ තබා ගත යුතු බවයි.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<