මෙවර තරගාවලියේ මංගල ශතකය නිලක්ෂිකාගෙන්

SLC Major Club Women’s 50 Over Tournament 2026

1
SLC Major Club Women’s 50 Over Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (9) නිමා වූ Colts CC සහ Panadura SC කණ්ඩායම් අතර තරගයේ දී නිලක්ෂිකා සිල්වා ශතකයක් වාර්තා කිරීමට සමත් වූවා.

මෙය මෙවර තරගාවලියට එක් වූ මංගල ශතකය වූ අතර මෙම තරගයෙන් Panadura SC කණ්ඩායම ලකුණු 140ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

>>Major Club කාන්තා එක්දින තරග ආරම්භ වෙයි

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Panadura SC කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 6ක් දැවී ලකුණු 276ක් ලබා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා නිලක්ෂිකා සිල්වා. ඇය පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 120ක් ලබා ගන්නවා.

එම ඉනිමේ දී ඇය පියුමි වත්සලා (25) හා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 56ක දී ලකුණු 52ක සබඳතාවක් ද, රශ්මිකා සෙව්වන්දි (30) හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 71ක දී ලකුණු 84ක සබඳතාවක් ද සහ ප්‍රමුදි මෙත්සරා (නොදැවී 13) හා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 25ක දී නොදැවුණ ලකුණු 45ක සබඳතාවක් ද එක් කරනවා.

ඔවුන්ට අමතර ව සඳලි වීරසිංහ පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ද සහ විමෝක්ෂා බාලසූරිය පන්දු 50ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 108ක දී ලකුණු 65ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී ජනාදි අනාලි ලකුණු 48කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව තරුෂි රාජකරුණා, පමෝධා ශයිනි, දිනිති පතිභාශිනී සහ විශ්මි සොයිසා කඩුල්ල බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Colts CC ඉනිමේ තවත් පන්දු 12ක් ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 136ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ උමයංගනා පීරිස්. ඇය පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 34ක් ලබා ගන්නවා.

ඇයත් සමඟ ඉනිම ආරම්භ කළ තරුෂි රාජකරුණා පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ලට පන්දු 83ක දී ලකුණු 54ක සබඳතාවක් එක් කළා.

කඩුලු දවා ගැනීමේ දී පියුමි වත්සලා ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව දේවගී ජෙගනාදන් ලකුණු 10කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව නවෝද්‍යා නෙත්මිණි, සඳලි වීරසිංහ, සුගන්දිකා කුමාරි සහ ප්‍රමුදි මෙත්සරා කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරු

Colts CC සහ Panadura SC අතර තරගය කොළඹ, Colts CC ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC – කඩුලු 6ක් දැවී 276 (50.0)සඳලි වීරසිංහ 34, විමෝක්ෂා බාලසූරිය 28, පියුමි වත්සලා 25, නිලක්ෂිකා සිල්වා නොදැවී 120, රශ්මිකා සෙව්වන්දි 30, ජනාදි අනාලි 2/48
  • Colts CC – සියලුම දෙනා දැවී 136 (48.0)තරුෂි රාජකරුණා 24, උමයංගනා පීරිස් 34, දේවගී ජෙගනාදන් 2/10, පියුමි වත්සලා 3/17

Panadura SC කණ්ඩායමට ලකුණු 140ක ජයක්.

Major Club කාන්තා එක්දින සිමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<