රෝද පුටුවේ සිට ඉරණමට අභියෝග කළ Rowing ශූරිය

300

මීට වසර 13කට පමණ ඉහත දී කොළඹ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයේ දී සිදු වූ අනතුරක් හේතුවෙන් ආබාධිත තත්වයට පත් සමිතා සමන්මලී, මේ වන විට වෘත්තියෙන් වෛද්‍යවරියක්. ආබාධිත බව ආබාධයක් කර නොගත් ඇය ආසියානු පදක්කම්ලාභී ඔරු පැදීමේ ශූරියක් ද වෙනවා. මේ ඇය ගැන ThePapare.com තබන සටහනක්. 

“හැම දවසක් ම උදා වුනේ හූල්ලමින් කිසිම අරමුණක් නැතිව. ඇඬුවා, දුක් වුනා. කරන්න ඕන මොකක්ද කියල අපැහිදිලිව තිබුණේ. කිසි දෙයක් හිතා ගන්න බැරි වුනා. කාලයක් යනකම් මේක හොඳ වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා. ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කළා. නමුත් පස්සෙ පස්සෙ මේ තත්ත්වයෙන් ගොඩ එන්න බැහැ කියලා තේරුණා” සමිතා කතා කරන්න අකමැති තමන්ගේ අතීතය මෙනෙහි කළේ ඒ විදිහට. 

ප්‍රදර්ශන භූමියේ ඉදි කර තිබූ තාවකාලික මඩුවක යකඩ බටයක් සමිතාගේ හිස මත කඩා වැටීම හේතුවෙන් එවකට වෛද්‍ය සිසුවියක වූ සමිතාගේ සුෂුම්නාවට දැඩි හානි සිදු වෙනවා. මේ නිසා ඇයට ඇවිද ගැනීමට නොහැකි වෙමින් රෝද පුටුවකට තම අනාගතය බාර දෙනවා.   

“මට තේරුණා, එතැනින් එහාට මගේ ජීවිතය මා විසින් ම සැලසුම් කළ යුතු බව. මගේ ජීවිතය ගෙන යන්නේ කොහොමද කියලා මම තීරණය කළා. මොන දේ නැති වුනත් අධ්‍යාපනය නැති වෙන්නෙ නැති බව අපි ඉගෙන ගන්නෙ පොඩි කාලේ සිට ම. මම තීරණය කළා නැවතත් මම නතර වුන තැනින් ම ජීවිතය පටන් ගන්න. ඒත් ඉතිං, හොඳට හිටපු එක්කෙනෙක්ට Accident එකක් වුනාට පස්සේ ඒක දරා ගන්න හරි අමාරුයි. මම ඒක වින්දා. එහෙම දේවල් වෙලා ජීවිතය ජය ගත්ත අය ලෝකයේ ගොඩක් ඉන්නවා. මම ඒ අයගෙ කතා කියවල තියෙනවා. නැවත නැවතත් මම ඒ කතා හොයාගෙන කියෙව්වා. මම මගේ ජීවිතයට උත්තේජනයක් ලබා ගත්තේ ඒ කතාවලින්. මට ධෛර්යමත් ව ජීවිතය නැවත ගොඩ නගා ගන්න ඒ කතා ගොඩක් වැදගත් වුනා.”

කොළඹ ජාතික රෝහලේ මාස ගණනක් ප්‍රතිකාර ලැබූ සමිතා,  නැවත විශ්වවිද්‍යාල ජීවිතය ආරම්භ කරනවා. එම කාලයේ ම ඇය තම පවුලේ සාමාජිකයින්ගේ සහ නෑදෑ හිත මිතුරන්ගේ සහයෝගය ඇතිව දෙස්-විදෙස් ප්‍රතිකාර ලබා ගනිමින් සිය අධ්‍යාපන කටයුතුත් සාර්ථකව නිමා කිරීමටත් සමත් වෙනවා.

“මේ වෙනුවෙන් මට මගේ යාළුවෝ උදව් කළා. විශ්වවිද්‍යාලයෙන් උදව් කළා. ගෙදර අය මට විශාල ශක්තියක් වුනා. මම වෙනුවෙන් මා නොදන්නා විශාල පිරිසක් මගේ උදව්වට හිටියා. තවමත් මම නොදන්නා පිරිස් පවා මට එදා උදව් කළා. ඒ හැමෝගෙ ම උදව් සමඟ මම රෝද පුටුවේ ඉඳගෙන විභාගේ ලියල අවසන් කරනවා. මම මගේ ඉලක්කවලට ගියා. අද මම වෛද්‍යවරියක්.”

මේ ගමන පැමිණි සමිතා, මධ්‍යම පාන්තික පවුලක දරුවන් දෙදෙනෙක්ගේ පවුලේ බඩපිස්සී. 

“මට අවුරුදු 12ක් විතර වෙද්දී තාත්තා නැති වෙනවා. මේ නිසා අපිට අධ්‍යාපනය ලබන්න වුනේ ගොඩක් දුෂ්කරතා මැද. අම්මා හැම දෙයක් ම පුළුවන් විදිහට අපිට ලබා දුන්නා. ක්‍රීඩාවට වඩා අපිව යොමු කළේ අධ්‍යාපනය පැත්තට. මගේ අක්කා තරංගා දීපිකා. පාසල් ගියේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට. පාසල් වියේ දක්ෂ නෙට්බෝල් ක්‍රීඩිකාවක්. අක්ක මට වඩා අවුරුදු 10ක් වැඩිමල්. පාසල් කාලයේ වගේ ම වර්තමානයේත් මට රැකවරණය සලසන්නේ අම්මට පස්සේ මගේ අක්කා. ඒ වගේ ම අක්කගෙ මහත්තයත්, දරුවන් දෙදෙනාත් මාව ඉතාම හොඳින් රැකබලා ගන්නවා. මේ අය තමයි මගේ ලෝකය.”

සමිතා මූලික අධ්‍යාපනය ලබන්නේ පිළියන්දල, මකුළුදූව කනිෂ්ඨ විද්‍යාලයෙන්. මේ කාලේ ආවට ගියාට වගේ කළ ක්‍රීඩාවක් හැරෙන්න වෙනත් බාහිර දේකට සමිතා යොමු වෙලා නෑ. ඒකත් කරල තියෙන්නේ නිවාසාන්තර තරග සඳහා පමණයි. දිවීමේ තරග, දුර පැනීම සහ උස පැනීමේ තරග ඒ අතර වෙනවා. 

“හයේ පංතියේ ඉඳල මම ඉගෙන ගත්තේ මරදාන ගෝතමී බාලිකාවේ. එහේදි වුනත් ක්‍රීඩාවක් කියල ලොකුවට කළේ නැහැ. ගෝතමියෙදි ක්‍රීඩා කරන්න කාලයක් යොදා ගන්නත් බැරි වුනා. මොකද පිළියන්දල ඉඳන් මරදානට උදේ හවස පාසල් එද්දී ඊට වඩා වෙනත් දේකට කාලය වෙන් කරන්න වෙලාවක් තිබුණෙ නැහැ. මේ නිසා ඉගෙනීමට වැඩි කාලයක් ගත කළා. විශ්වවිද්‍යාලය ජීවිතයේ දී ටික කාලයක් නෙට්බෝල් ක්‍රීඩා කළා. ඒත් ඉතිං ඒකත් ලොකුවට කළේ නැහැ.”

සමිතාගේ ක්‍රීඩා කතාව ලියැවෙන්නේ ආබාධිත බවත් සමග. 

“රෝද පුටුවේ ඉන්දැද්දී අපි ඉන්නේ එක ම ඉරියව්වකින්. මේ නිසා අපේ ශාරීරික ක්‍රියාකාරකම්වල අඩුවක් වෙනවා. මේ තත්ත්වය මඟ ඇර ගන්න අපි විවිධ ආකාරයේ ව්‍යායාම්වලට යොමු වෙනවා. වෛද්‍යවරුන් ද විවිධ ආකාරයෙන් මේ සඳහා උපදෙස් දුන්නා. මේක යථා තත්ත්වයට පත් කර ගන්න නම් මොකක් හරි ක්‍රීඩාවක් කරන්න ඕන කියන හැඟීම මටත් ආවා. ආබාධිත බවට පත් වුනාට පස්සේ මම මුලින් ම ක්‍රීඩාවක් ලෙසින් කළේ ටෙනිස් ක්‍රීඩාවේ නිරත වීම. ඒකට හේතු වුනේ මට විශ්වවිද්‍යාලයෙන් නේවාසිකාගාර ලැබිලා තිබුණේ ටෙනිස් සංගමය අසල. එතැන ඉඳලා ටෙනිස් ක්‍රීඩාංගණයට යන්න එන්න පහසුයි. ටික දුරයි තිබුණේ.”

සමිතාගේ අරමුණ වුනේ ක්‍රීඩාවේ නිපුණයෙක් වීම නොවේ, තම ශරීරය මනාව පවත්වා ගෙන යෑමට වූ අවශ්‍යතාව. නමුත් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයෙන් ඉවත් වීමට සිදු වීමත් සමඟ සමිතාගේ ටෙනිස් ජීවිතයත් අවසන් වෙනවා. ඊට පස්සේ ඇය යොමු වෙන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට.

“මේ දවස්වල ම මට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රස්සාව ලැබෙනවා. මගේ පදිංචිය නැවත පිළියන්දලට මාරු වෙනවා. මේ නිසා ටෙනිස් ක්‍රීඩාවට යෑම මඟ හැරෙනවා. ඒත් ඒ කාලෙම මගෙ අක්කගෙ බබාලා දෙන්නා බැඩ්මින්ටන් ගහනවා. ඔවුන්ගේ පුහුණුකාරිනිය සමඟ මම ඊට පස්සෙ බැඩ්මින්ටන් ගහන්න යොමු වෙනවා.”

2017 වසරේ දී සමිතා ඕස්ට්‍රේලියා යනවා. ඒ එරට රජය ලබා දුන් ශිෂ්‍යත්වයක් මගින් ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ ‘ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රමවේද’ පිළිබඳව වැඩිදුර හදාරන්න. 

“මගේ අරමුණ වුනේ මම වැටි සිටින ක්ෂේත්‍රය ගැන තව තවත් කරුණු ඉගෙන ගන්න. ඒ රටේ දී මම මේ ගැන පුළුල් අධ්‍යාපනයක් ලැබුවා. ඒ වගේ ම ඕස්ට්‍රේලියාවේ සිටින කාලයේ දී ආබාධ සහිත පුද්ගලයින්ට එම සමාජය විසින් සලකන ආකාරය දැක්කා. ඇත්තට ම අපේ රටේ ඒ ගැන තියෙන්නේ කණගාටුදායක තත්ත්වයක්. මේ කාලයේ දී මම, එරට දී පිහිනුම් ක්‍රීඩාව සහ දිය යට කිමිදීම වගේ දේවල නිරත වුනා.”

මෙරට ආ සමිතා තමන් ලැබූ අධ්‍යාපනය මෙරට ආබාධිතයන්ට ද ලබා දීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ, වැඩිහිටි හා ආබාධිත සත්කාර ඒකකයේ රැකියාවට යොමු වෙනවා.

“මේ කාලය වෙද්දී මට රැකියාව කරන ගමන් කුමන හෝ ක්‍රීඩාවක නිරත වීමේ උවමනාව තිබුණා. එතකොට මම ඔරු පැදීමේ ක්‍රීඩාවක් ගැන දැන ගෙන හිටියේ නැහැ. මගේ යාළුවෙක් ආරාධනා කළා ඔරු පැදීමේ ක්‍රීඩා කරන ආකාරය බලන්න යන්න. එහෙම ගියපු මට පුහුණුවීම්වලට සහභාගී වෙන්න කියල ආරාධනා කළා. මටත් ගොඩක් ආසා හිතුණා, මේ ක්‍රීඩාවේ නිරත වෙන්න.”

එහෙම කළ ක්‍රීඩාවෙන් 2019 දකුණු කොරියාවේ පැවති ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියේ දී කිලෝ මීටර් 2ක් දුර ඔරු පැදීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමිතා සමත් වෙනවා. 

“ඒ තරගාවලිය වෙනුවෙන් ගොඩක් වෙහෙස මහන්සි වෙලා පුහුණුවීම් කළා. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවශ්‍ය නිවාඩු ලබා දෙමින් මාව දිරිමත් කළා. මම පුහුණුවීම් කළේ යුද හමුදා ඔරු පැදීමේ කණ්ඩායම්වල අය සමඟ. ඔවුන් සහ පුහුණුකරුවන් මට අවශ්‍ය සෑම පහසුකමක් ම ලබා දුන්නා.”

සමිතාගේ ආබාධිත තත්ත්වය මත ඇයගේ ඉසව්ව වෙන් වෙන්නේ Rowing  P. R. 01 යන ඉසව්ව. මේ ඉසව්වේ ම පිරිමි අංශයෙන් සහභාගී වන යුද හමුදා ක්‍රීඩක මහේෂ් ජයකොඩි සතු ඔරුවෙන් තමයි ඇය පුහුණුවීම් කරන්නේ. 

“අපි පුහුණුවීම් කරගෙන යන්නේ ගොඩක් අපහසුකම් මැද. යුද හමුදාව නැත්නම් ඒ තියෙන පහසුකම් ටික වත් නැහැ. අපිට විශේෂයෙන් වෙන් කරල කිසිම දෙයක් හදල නැහැ. Wash Room එකට පවා යන්න අමාරුයි. පුහුණුවීම්වලට එන අය තමයි අපිට උදව් කරන්නේ. ක්‍රීඩා අපහසුකම් ගැන කතා කළොත්, අපිට පදින්න වෙනම බෝට්ටු නැහැ. මගේ ඉසව්වට වෙනම බෝට්ටුවක් තියෙන්න ඕන. දැනට ලංකාවේ ඒ වෙනුවෙන් තියෙන්නේ එක බෝට්ටුවයි. මමත් මහේෂ් ජයකොඩිත් පදින්නේ ඒ බෝට්ටුව. ඒක එක එක්කෙනා අනුව Adjustment කරන්න ඕන. මහේෂ් පුහුණුවීම් ඉවර වෙලා මම පදිද්දී නැවත මට අවශ්‍ය ආකාරයට හදාගන්න ඕන. ඒක හරි අමාරුයි. හුරුව නැති වෙනවා.”

මේ තරම් අපහසුතා මැද සමිතා අදටත් මේ ක්‍රීඩාවේ යෙදෙන්නේ ඉතාමත් ආසාවෙන්. 

“මම මේ ක්‍රීඩාවේ යෙදෙන්න ප්‍රධානතම හේතුව වෙන්නේ මගේ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමේ අවශ්‍යතාව. අපි වගේ ආබාධිත කෙනෙක්ට කාලයත් සමඟ අතුරු ආබාධ එන්න පුළුවන්. ඒව මඟ හැර ගන්න ක්‍රීඩාවක් හෝ ව්‍යායාම කළ යුතුයි කියලා වෛද්‍යවරු පවා නිර්දේශ කරනවා. ඒව කළ යුතුයි. මම මේ ක්‍රීඩාවේ යෙදෙමින් මගේ ශාරීරික යෝග්‍යතාව නිසි පරිදි පවත්වා ගෙන යනවා වගේ ම මගේ මානසික තත්ත්වයත් ඉතා යහපත් තත්ත්වයෙන් පවත්වා ගෙන යනවා. ඒක මට ඉතාම වැදගත්.”

සමිතා කියන්නේ මේ ක්‍රීඩාව ආබාධිතයන් අතර ප්‍රචලිත කිරීම සඳහා තව තවත් පහසුකම් වැඩි කළ යුතුයි කියලයි.  

“පැරා ඔරු පැදීම ලංකාවට ආධුනික ඉසව්වක්. ජාත්‍යන්තරයේ වූවත් මේ ඉසව්ව ආරම්භ වෙලා වැඩි කාලයක් නැහැ. මම සහභාගී වෙන ඉසව්වට ලංකාවෙන් ඉන්නේ මම විතරයි. ආබාධිත කෙනෙක් මේ ක්‍රීඩාවට ගෙන්න ගන්න අමාරුයි. තාමත් පැරා ක්‍රීඩාවල නිරත වෙන අය ගොඩක් ඉන්නේ යුද හමුදාවේ. ඒ වෙනුවෙන් ඔවුන්ට පහසුකම් තියෙනවා. ඒ අය ඔවුන්ගේ ක්‍රීඩකයන්ව දිරි ගන්වනවා. උදව් කරනවා. නමුත් සිවිල් පුරවැසියන්ට එහෙම නැහැ. ඒ නිසා මේ ක්‍රීඩාවට පිවිසෙන අය අඩුයි. විශේෂයෙන් ම  හැම කාන්තා ඉසව්වකට ම සහභාගී වෙන අය අඩුයි.”

“නමුත් ආබාධිත අයට මේ මගින් ලබා ගන්න ගොඩක් දේවල් තියෙනවා. ජීවිතයට හොඳ තත්ත්වයක් උදාකර ගන්න මේක ඉතා වැදගත්. තිබෙන පහසුකම් අවම වීම හේතුවෙන් සහභාගී වෙන අයගේ අඩුවක් තියෙනවා. අපිට ආර්ථික පහසුකම් ලැබෙන්නේ නැහැ. මම රස්සාවක් කරන නිසා අවුලක් නැහැ. අතින් වියදම් කරගෙන කරනවා. නවක කෙනෙක් මේ ක්‍රීඩාවට ගෙන්න ගන්නවා නම් අපි අඩුම තරමේ ගමනා ගමන පහසුකමක් හෝ ලබා දිය යුතුයි. ආබාධිත අයෙක්ට පාරේ බස් එකේ එන්න බැහැ. එහෙම වුනොත් ප්‍රායෝගික ප්‍රශ්න මතු වෙනවා. පුහුණුවීම් තියෙන්නේ දියවන්නාවේ. ඒ පැත්තට යන්න බස් එකක් නැහැ. ගොඩෙක් අයට පෞද්ගලික ප්‍රවාහන  පහසුකම් ලබා ගන්න බැහැ. අඩුම තරමින් ඒ දේවල් හෝ ලබා දෙන්න පුළුවන් නම්…”

සමිතාගේ අභිප්‍රාය තමන් සේ ම අන් අය ද නැගිටිනු ඇතැයි යන බලාපොරොත්තුවයි. ඊට තමන් සතු වෛද්‍ය දැනුම සේ ම ක්‍රීඩා දැනුම ද බෙදා දීමට ඇය දක්වන්නේ දැඩි කැමැත්තක්. ක්‍රීඩාවෙන් නම් සමිතාට තවමත් ඒ වෙනුවෙන් පියවරක් ගැනීමට හැකියාවක් ලැබී නැහැ. නමුත් රාගම පුනරුත්තාපන රෝහලේ සේවය කරන සමිතා මේ වන විට වෛද්‍ය වෘත්තියේ දී දැනටමත් ඊට දායක වෙනවා.  

“හොඳට හිටපු කෙනෙක් ආබාධිත තත්ත්වයට පත් වෙනවා කියන්නේ ඒක කෙනෙක්ට දරා ගන්න බැහැ. ජීවිතය පවා නැති කර ගන්න හිතෙන අවස්ථා තියෙනවා. මම මේ වගේ අය දකිනවා. මගේ වයසේ ම අය හමුවෙනවා. ඔවුන් සමඟ මම කතා කරන්නේ මගේ අත්දැකීම් සමඟ. ඒ අය මගේ කතාව අහලා පුදුම වෙන අවස්ථා වගේ ම ඔවුන්ගේ ජීවිත ද ඒ ආකාරයෙන් හැඩ ගස්වා ගන්න උත්සාහ කරන බව පවසනවා. මමත් ඔවුන්ට උපරිම ආකාරයෙන් වෙදකම වගේ ම හෙදකමත් කරනවා. මම හරි සතුටින් මේ වෘත්තියේ නිරත වෙන්නේ.” 

සමිතා, ඒ සමාජ සත්කාරයේ ද නිරත වන අතරතුර ඔරු පැදීමේ ක්‍රීඩාවේ ද නිරත වීමට අමතක කරන්නේ නැහැ. 

“ලබන වසරේ අගෝස්තුවල ආසියානු ඔරු පැදීමේ තරගාවලිය තියෙනවා. මේ තත්ත්වය යටතේ තරගාවලිය පවත්වාවිද ද දන්නෙ නැහැ. නමුත් මේ වන විට එම තරගාවලිය ඉලක්ක කර ගනිමින් පුහුණුවීම් කරනවා. මේ වෙනුවෙන් හැකි සෑම අවස්ථාවක ම මහන්සි වෙනවා.” 

දෙපයින් සිට ගන්නා මිනිසුන්ගේ චිත්ත ශක්තියට වඩා සමිතාගේ හිත ශක්තිමත්. ඇයට මේ පන්නරය ලැබුණේ සමාජයෙන් බවයි ඇය ම පවසන්නේ. 

“මම සමාජයත් සමඟ ගොඩ නැගුණ කෙනෙක්. සමාජයේ මම අද මේ තැන ඉන්නේ මම තනියම කරපු දෙයක් නිසා නෙවේ. වෛද්‍යවරියක් වීමේ දී වගේ ම ක්‍රීඩාවේදීත් මට යම් තැනකට එන්න සමාජයේ විවිධ අය මට විශාල ලෙස උදව්  කළා. මගේ ජයග්‍රහණවලට විවිධාකාරයෙන් දායක වුනා. ඔවුන් නිසා තමයි සමිතා සමන්මලි කියන චරිතය නැවත ගොඩ නැගුණේ. ඒ සෑම කෙනෙක්ට ම ස්තූතිවන්ත වෙනවා” සමිතා පැවසුවා.

තම ඉරණම පත්ඉරුවක ලියැවුණ ග්‍රහයන්ට, ඉලක්කම් කිහිපයකට ලඝු නොකර, ජීවිතය ජය ගත් වෛද්‍ය සමිතා සමන්මලීගේ ජීවන ගමනට, සේ ම ක්‍රීඩා ගමනට ද ThePapare.com හී සුබ පැතුම්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<