ප්‍රථම දිනයේදීම මෙන්ඩිස්ගෙන් විශිෂ්ට ශතකයක්

226
Sri Lanka v Bangladesh

පසුගියදා නිමාවුනු දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ දී ඉනිම 6කදීම ලකුණු 300 සීමාවට ලඟා වීමට අසමත් වුනු ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) බංග්ලාදේශය සමගින් ඇරඹි ප්‍රථම ටෙස්ට් තරගයේ ප්‍රථම දිනයේදීම අදාළ ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. ඒ සඳහා ඉහළ දායකත්වයක් සැපයූ දකුණත් පිතිකරු කුසල් මෙන්ඩිස් අද දිනය නිමා කළේ නොදැවී ලකුණු 166ක් රැස්කර ගනිමිනි.

ශෙහාන් ජයසූරියගේ තනි දක්ෂතා තරග ජයග්‍රහණයකට පාර කියයි

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායම පිට පිටම පරාජය කරමින් තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම…

පිතිකරුවන්ට හිතකර බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබූ ගාලු තණතිල්ල මතදී ඉහළ නැගුණු කාසිය ශ්‍රී ලංකා නායක රංගන හේරත්ට වාසිය හිමිකර දෙමින් පෙරලී යද්දී මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව තම පිතිකරුවන්ට ලබා දීමට ඔහු දෙවරක් සිතුවේ නැත. අද ශ්‍රී ලංකා කණ්ඩායම තම සාම්ප්‍රදායික ක්‍රීඩක සැලැස්ම යම් පමණකින් වෙනස් කරමින් පිතිකරුවන් 6ක් සහ පන්දු යවන්නන් 5ක් සමගින් තරගයට එළැඹී තිබුණි. තම නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටුකල ශ්‍රී ලංකා පිතිකරුවන් ප්‍රථම දිනය නිමාකළේ කඩුලු 4ක් දැවී ලකුණු 321ක් රැස්කර ගනිමිනි.

අද උදෑසන කාලයේදී පැවති සුළු දෝලන තත්වය නිසා බංග්ලාදේශ පන්දු යවන්නන් නැවුම් පන්දුවෙන් යම් තරමක වාසියක් ලබා ගන්නා බව පෙනෙන්නට තිබුණි. ශ්‍රී ලංකා පිතිකරුවන්ට එහිදී පිටියේ හිදැස් සොයා ගැනීම එතරම් පහසු නොවූ අතර පන්දුව පිත්ත පසුකර කඩුලු රකින්නා වෙත ඇදී ගිය ආසන්න අවස්ථා කිහිපයක් ද පැවතුණි. බංග්ලාදේශයේ වේග පන්දු තර්ජනය මැද ප්‍රථම කඩුල්ල ලෙස දැවී ගියේ ආරම්භක පිතිකරු උපුල් තරංගයි. සුභාශිස් රෝයිගේ සුරතින් ගිලිහුණු පන්දුව තරංගගේ කඩුල්ල සිප ගනිද්දී ඔහු රැස් කරගෙන සිටියේ ලකුණු 4ක් පමණි.

ගෙවුනු සතියේ ලයන්ස් කණ්ඩායමට එරෙහිව ද්විත්ව ශතකයක් ලබා ගනිමින් තමන්ගෙන් ගිලිහෙන්නට ගිය ජාතික කණ්ඩායමේ ස්ථානය යළිත් රැකගත් දිමුත් කරුණාරත්න අද ලකුණු 30කට දැවී ගියේ නවක බංග්ලාදේශ ක්‍රීඩක මෙහෙදි හසන්ගේ දඟ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙනි. ඒ වනවිට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 2කට ලකුණු 60ක් ලෙස සටහන් විය. ඔහුගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්ට අද ගාලු තණතීරුවේදී පන්දුවේ හැසිරීම පිලිබඳ වැඩි අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නොතිබුණි. ඉතාමත් සෙමින් පන්දුවට පහර දෙමින් තම කඩුල්ල රැක ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක කරගත නොහැකි වූ චන්දිමාල් දැවී යනවිට පන්දු 54කට මුහුණ දී ලකුණු 5ක් ලබාගෙන සිටියේය.

ශ්‍රී ලංකාවේ දෛවය කණපිට පෙරලෙන්නේ ගෙවීගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් අතර වීරයෙකු බවට පත්වූ අසේල ගුණරත්න පිටියට සම්ප්‍රාප්ත වීමත් සමගයි. අනෙක් අන්තයේ සිට හොඳින් පන්දුවට පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස් සමග එක්වුනු ඔහු සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 196ක සුවිශිෂ්ට සබඳතාවයක් පැවැත්වීමට සමත් විය. කලකට පසු නැවතත් තම පිතිකරණ රිද්මය හඳුනාගත් කුසල් මෙන්ඩිස් අද හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් සමගින් දිනය නිමා කළේ නොදැවී ලකුණු 166ක් ලබා ගනිමිනි. මෙය කුසල්ගේ දෙවැනි ජාත්‍යන්තර ටෙස්ට් ශතකය ලෙස සටහන් වූ අතර හෙට දිනයේදී එය තම ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම බවට පරිවර්තනය කර ගැනීමේ ඉතාමත් ඉහළ අවස්ථාවක් දැන් උදාවී තිබේ.

මෑත කාලයේදී ශ්‍රී ලංකා පිළේ මැදපෙළ නැංගුරම බවට පත්ව සිටින අසේල ගුණරත්න අද පිටිය සිසාරා එල්ල කල අලංකාර හතරේ පහර 7ක් සමගින් ලකුණු 85ක් රැස් කළේය. ඔහුගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 11ක් රැස්කර ගනිමින් දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුරාවට ලකුණු 321ක් දක්වා ඉහළ නැංවීමට ආධාර විය. බංග්ලාදේශය වෙනුවෙන් අද කිසිදු පන්දු යවන්නෙක් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට අසමත් වූ අතර ටස්කින්, මුස්ටාෆිසූර්, සුභාශිස් සහ මෙහෙදි හසන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ශ්‍රී ලංකාවට තවත් කඩුලු 6ක් ඉතිරිව ඇති නිසා හෙට දිනයේදී හැකිතාක් ලකුණු රැස් කරගෙන ඉනිමක ජයග්‍රහණයක් කරා යාමට අවශ්‍ය අඩිතාලම දැමීමට ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ දරනු ඇති අතර බංග්ලාදේශයට මේ වනවිට තරගයේ සෘජු පීඩනය එල්ල වී තිබේ. හෙට දිනයේ තරගය ආරම්භ වන්නේ යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් බංග්ලාදේශ පන්දු යවන්නන්ට මුහුණ දෙන ආකාරය පිලිබඳ සමස්ථ ලෝකයාගේම ඇස් ඔහු වෙත එල්ල වී ඇති වටපිටාවක් තුලයි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 321 (පන්දුවාර 88): කුසල් මෙන්ඩිස් 166*, අසේල ගුණරත්න 85, දිමුත් කරුණාරත්න 30, නිරෝෂන් දික්වැල්ල 14*, ටස්කින් අහමඩ් 1/48, මුස්ටාෆිසූර් රහ්මාන් 1/50, සුභාශිස් රෝයි 1/58, මෙහෙදි හසන් 1/66.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට