ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් ලෝක කුසලාන ගමන නිමා කරයි

ICC Women's T20 World Cup 2026

9
ICC Women's T20 World Cup 2026

10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ශ්‍රී ලංකාව සහභාගී වූ 5 වැනි සහ අවසන් තරගයෙන් ස්කොට්ලන්තයට එරෙහි ව කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කරනවා.

Bristol හි County ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 151ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම ඉලක්කය පන්දුවක් ඉතිරි කර ගනිමින් කඩුලු 7ක් දැවී සපුරා ගන්නවා.

දෙරට අතර පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයට සහභාගී වූ කණ්ඩායම ම නම් කර තිබූ අතර ස්කොට්ලන්ත කණ්ඩායමේ පෙර තරගයට එක් වූ Hannah Raineyට මෙම තරගයේ දී ස්ථානය අහිමි ව තිබූ අතර ඒ වෙනුවට Gabriella Fontenla එක් කර තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞශිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි,  මිතාලි අයෝද්‍යා සහ නිමාෂා මීපගේ.

ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම

Kathryn Bryce (නායිකාව), Darcey Carter, Katherine Fraser, Sarah Bryce (කඩුලු රකින්නිය), Ailsa Lister, Priyanaz Chatterji, Pippa Sproul, Megan McColl, Rachel Slater, Kirstie Gordon සහ Gabriella Fontenla.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Sarah Bryce. ඇය ඉනිමේ අංක 4 ස්ථානයෙන් පිටියට පිවිසෙමින් ඉනිම අවසන් වෙද්දී නොදැවී ලකුනු 47ක් ලබා ගන්නවා. ඇය ගේ එම ඉනිමට පන්දු 33ක් වැය ව තිබූ වූ අතර ඊට හතරේ පහර 6ක් ඇතුලත් වුණා.

ඇයට අමතර ව ආරම්භක පිතිකාරිනී Darcey Carter පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ද, Ailsa Lister පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ද සහ නායිකා Kathryn Bryce පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මිතාලි අයෝද්‍යා ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව කවීෂා දිල්හාරි සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් දවා ගත්තා.

පෙර තරගයේ දී සේ ම මෙම තරගයේ දී ද සුපුරුදු පරිදි නායිකා චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි එක් ව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනවා. ඔවුන් දෙදෙනා විසින් තරගයට වේගවත් ආරම්භයක් ලබා ගත්ත ද එය දීර්ඝ ව ගෙන යෑමට ඔවුන් සමත් වෙන්නේ නැහැ.

පන්දු 17කින් සමන්විත වූ ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 32කට සීමා වෙනවා. එහි දී පළමුවෙන් ම ඉනිම හැර යන්නේ ඉමේෂා දුලානි. ඇය දැවී යන විට පන්දු 6කට මුහුණ දෙමින් හතරේ පහරකින් එක්කර ගත් ලකුණු 4ක් ලබා සිටියා.

ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව කඩුල්ලේ දී චමරි අතපත්තු සහ හසිනි පෙරේරා එක් ව පන්දු 15ක දී ලකුණු 25ක සබඳතාවක් එක් කරනවා. එවර එම කඩුල්ලේ සබඳතාව බිඳ දමන්නේ චමරි අතපත්තු. ඇය දැවී යද්දී පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.

හසිනි පෙරේරා ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.

ඔවුන්ට අමතර ව හර්ෂිතා සමරවික්‍රම පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ද සහ කවීෂා දිල්හාරි පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ද සහ කෞෂිනී නුත්‍යාංගනා පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රාහී මාවතට රැගෙන ගියා.

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී නිලක්ෂිකා සිල්වා පන්දු 21කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 21ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Katherine Fraser, Kathryn Bryce සහ Rachel Slater කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Kirstie Gordon කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 151 (20.0) Darcey Carter 34, Kathryn Bryce 23, Sarah Bryce නොදැවී 47, Ailsa Lister 26, මිතාලි අයෝද්‍යා 2/34

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 154 (19.5) චමරි අතපත්තු 33, හසිනි පෙරේරා 23, හර්ෂිතා සමරවික්‍රම 27, නිලක්ෂිකා සිල්වා නොදැවී 21, Kathryn Bryce 2/28, Rachel Slater 2/31, Katherine Fraser 2/25

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

තරගයේ වීරයා – නිලක්ෂිකා සිල්වා (ශ්‍රී ලංකාව)

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<