ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට මහනුවර කණ්ඩායම අද (21) සමත් වුණා.
කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ප්‍රතිවාදීන් වූ ගාල්ල කණ්ඩායමට එරෙහි ව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ඔවුන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දිමන්ත මහවිතාන (නායක), මහේන්ද්‍ර අබේසිංහ, කෞෂික කුමාරසිංහ, චනිරු සේනාරත්න, සෙත්මික සෙනෙවිරත්න, සිසිල් හේමක, දිනුල් විජේසිංහ (කඩුලු රකින්නා), රයන් ග්‍රෙගරි, සුමේධ ප්‍රසාද්, කනිල්ක ඇන්තනී, කෝලිත සුගත්.
ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දුල්සිත් දර්ශන (නායක), අරෝෂ සිතුමිණ, පුල්ජිත් වත්සුක, සඳරු මල්ශාන්, චමත්ක කවිශාන් (කඩුලු රකින්නා), ප්‍රවිශ්ක නදීන්, ගිම්හාන් රසාංජන, ලිදුල නෙත්මිණ, තරුන් දම්සිත්, එස්. ඒ. ඉඳුවර සහ ලතීන්ද්‍ර ආකාශ්.
කාසියේ වාසිය ලබා ගත් ගාල්ල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන්ට ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ පන්දුවාර 39ක් පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය එම අවස්ථාවේ නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 209ක් ලබා සිටියා.
ඔවුන්ගේ එම ඉනිම එතැනින් නතර වන අතර ප්‍රතිවාදීන්ගේ ඉනිම ආරම්භ වෙන්නේ පන්දුවාර 39ක් තුළ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ජයග්‍රහණය සඳහා ලකුණු 228ක ඉලක්කයක් ලැබෙමින්. ඒ අනුව පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තවත් පන්දුවාර 2ක් ඉතිරි ව තිබිය දී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අරෝෂ් සිතුමිණ සහ දුල්සිත් දර්ශන සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 49ක දී ලකුණු 48ක සබඳතාවක් ගොඩ නගනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ අරෝෂ් සිතුමිණ ගේ දැවී යෑමත් සමගිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ පන්දුවේ තවත් කඩුල්ලක් දැවී යනවා.
එම දැවී යෑම් ද්විත්වයක් සමඟින් ඉනිමේ වැඩි වගකීම් කරට ගත් දුල්සිත් දර්ශන 3 වැනි කඩුල්ලට සඳරු මල්ශාන් හා එක් වෙමින් පන්දු 43ක දී ලකුණු 49ක සබඳතාවක් ගොඩ නගනවා. සඳරු මල්ශාන් ඉන් ලකුණු 8ක් පමණක් ලබා ගනිමින් දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
ඉන් අනතුරු ව දුල්සිත් දර්ශන හා එක් වෙන්නේ චමත්ක කවිශාන්. ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 74ක දී ලකුණු 63ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ දුල්සිත් දර්ශනගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 74ක් ලබා සිටියා.
චමත්ක කවිශාන් ඉනිමේ 7 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී කෝලිත සුගත් ලකුණු 40කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව රයන් ග්‍රෙගරි සහ චනිරු සේනාරත්න කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
- Sooryavanshi අවසන් මහා තරගය සංදර්ශනයක් කරයි
- ගාල්ල සහ මහනුවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
- සෙනුජ තරගාවලියේ මංගල ශතකය වාර්තා කරයි
- ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ ඉනිමකින් කොදෙව්වෝ පරාජය කරයි
- උඩපන්දු සමඟ ශ්‍රී ලංකාවෙන් තරගාවලි ජයත් ගිලිහී යයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ඉනිම ද සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. එම ඉනිම ආරම්භ කළ නායක දිමන්ත මහවිතාන සහ මහේන්ද්‍ර අබේසිංහ එක් ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 173ක දී ලකුණු 174ක සබඳතාවක් ගොඩ නගනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ මහේන්ද්‍ර අබේසිංහ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 71ක් ලබා සිටියා.
ඉනිමේ 2 වැනි කඩුල්ල ලෙසින් දිමන්ත මහවිතාන දැවී යද්දී පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 107ක් ලබා සිටියා. එය මෙවර තරගාවලියේ වාර්තා වූ 2 වැනි ශතකයයි.
අනතුරු ව ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් කෞෂික කුමාරසිංහ දැවී යද්දී පන්දු 22කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා.
තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී චනිරු සේනාරත්න නොදැවී ලකුණු 6ක් ද සහ සෙත්මික සෙනෙවිරත්න නොදැවී ලකුණු 2ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ලතීන්ද්‍ර ආකාශ් සහ ලිදුල නෙත්මිණ කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 209 (39.0) අරෝෂ සිතුමිණ 26, දුල්සිත් දර්ශන 74, චමත්ක කවිශාන් 43, චනිරු සේනාරත්න 2/26, කෝලිත සුගත් 3/40, රයන් ග්‍රෙගරි 2/20
- මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 3ක් දැවී 228 (37.0) දිමන්ත මහවිතාන 107, මහේන්ද්‍ර අබේසිංහ 71, කෞෂික කුමාරසිංහ 25
මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 7ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















