10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 5 වැනි සහ අවසන් තරගය මේ මස 26 වැනිදා Bristol හි County ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙන්නේ 2 වැනි වරට ලෝක කුසලාන තරගාවලියක් හා එක්වෙන ස්කොට්ලන්ත කණ්ඩායමයි. වසර 17ක් ඉපැරණි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ස්කොට්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක් හා පළමු වරට එක් වෙන්නේ 2024 වසරේ දී වන අතර එකී කාලය තුළ ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය ලෝක කුසලාන තරගාවලියක දී හමුවෙන පළමු අවස්ථාව මෙයයි.
එය එසේ වූවත් ඔවුන් මීට පෙර අවස්ථා 3ක දී එකිනෙකා හමුව තිබෙනවා. එම තරග ත්‍රිත්වයේ ම ප්‍රතිඵලය වී ඇත්තේ ශ්‍රී ලංකාව ඉදිරියේ ජයග්‍රහණය සටහන් වෙමිනුයි. ජයග්‍රාහී එම තරග ත්‍රිත්වයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇත්තේ චමරි අතපත්තු විසින් වන අතර පරාජිත එම තරග ත්‍රිත්වයෙන් තරග ද්විත්වයක් වත්මන් නායිකාව වන Kathryn Bryce මෙහෙයවා ඇති අතර අනෙක් තරගය මෙහෙයවා ඇත්තේ ඇය ගේ සහෝදරිය වන Sarah Bryce විසිනුයි.
පෙර තරගයට ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායම
Kathryn Bryce (නායිකාව), Darcey Carter, Katherine Fraser, Sarah Bryce (කඩුලු රකින්නිය), Ailsa Lister, Megan McColl, Priyanaz Chatterji, Pippa Sproul, Rachel Slater, Kirstie Gordon සහ Hannah Rainey
සංචිතගත අනෙක් ක්‍රීඩිකාවන්
Olivia Bell, Chloe Abel, Gabriella Fontenla, Maisie Maceira,
- අඩු ලකුණු ශ්‍රී ලංකාවට වින කටියි
- ශ්‍රී ලංකාවට හමුවෙන දශකයකට එපිට ශූරියෝ
- ශ්‍රී ලංකාවට හමුවෙන 2024 ලෝක ශූරියෝ
- වාර්තා පොත් අලුතින් ලියැවුණ 2026 මංගල තරගය
- ශ්‍රී ලංකාව සමඟ ගැටෙන සත්කාරිකාවන්
ස්කොට්ලන්ත විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභිනියන් අතර පළමු සහ 2 වැනි ස්ථානවල වැජඹෙන Kathryn Bryce සහ Sarah Bryce අක්ක – නගෝලාට මෙම තරගයේ දී පැවැරෙන ප්‍රමුඛ කාර්යය වන්නේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ මෙවර මෙතෙක් නොලත් ජයග්‍රහණයක් ලබා ගැනීමට තම කණ්ඩායම මෙහෙයවීමටයි.
විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 64කට සහභාගී වී ඇති ස්කොට්ලන්ත කණ්ඩායමේ නායිකාව වන Kathryn Bryce මේ වන විට අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 1627ක් ලබා සිටින ක්‍රීඩිකාවක්. පන්දු යවන්නියක් ලෙසින් ද දක්ෂතා දක්වන ඇය මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 71ක්. ඒ අතරට මෙවර තරගාවලියේ එක් කරන ලද කඩුලු 7ක් ද ඒ අතර තිබෙනවා.
එවන් දක්ෂතාවකින් සපිරි ඇය මෙවර තරගාවලියේ පළමු තරගයේ දී ම අර්ධ ශතකලාභිනියක් වූව ද ඉන් අනතුරු ව සහභාගී වූ තරග ත්‍රිත්වයේ දී සාර්ථක පිතිකාරිනියක් වීමට හැකි වෙන්නේ නැහැ. එම ඉනිම් 3 දී ම ඇය ලබා ගන්නේ ලකුණු 11ක් පමණයි.
එබැවින් ඇය මෙම තරගයේ දී තම දක්ෂතාවන් මනාව කළමණාකරණය කර ගනිමින් කරළියට ගෙන ඒමට සූදානම් වනු නොඅනුමානයි.
ඒ සමඟ ම ඇය ගේ සහෝදරිය වන 26 හැවිරිදි වියේ පසුවෙන Sarah Bryce ද ස්කොට්ලන්ත කණ්ඩායමේ සිටින විශ්වසනීය පිතිකාරිණියක් ලෙසින් ශ්‍රී ලංකාවට එරෙහි ව පිටියට පිවිසෙනු ඇත. කඩුලු රකින්නියගේ භූමිකාවේ ද නියුතු ඇය මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 83කට සහභාගී වෙමින් අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1814ක් ලබා සිටිනවා. ඒ අතරට මෙවර තරගාවලියේ දී තරග 4ක දී ලබා ගන්නා ලද ලකුණු 112ක් තිබෙනවා.
ඔවුන් දෙදෙනාට අමතර ව කණ්ඩායමේ සිටින ක්‍රීඩිකාවන් අතුරින් ආරම්භක පිතිකාරිනී Darcey Carter හට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. 21 හැවිරිදි වියේ පසුවෙන ඇය මෙවර තරගාවලියේ මේ දක්වා සහභාගී වූ තරගවල දී බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්ත කණ්ඩායමට එරෙහි ව ලබා ගත් අර්ධ ශතක ද්විත්වයත් සමඟින් ලකුණු 174ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය 58.0ක් ලෙසින් පවත්වා ගෙන යෑමට ද ඇය සමත් ව තිබෙනවා.
ස්කොට්ලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ දී ද ඉදිරියෙන් පසුවෙන්නේ කණ්ඩායම් නායකාව වන දකුණතින් මඳ වේග පන්දු යවන Kathryn Bryce වන අතර ඊට අමතර ව වමතින් මඳ වේග පන්දු යවන Rachel Slater ද, දකුණතින් මඳ වේග පන්දු යවන Hannah Rainey ද සහ දකුණතින් මඳ වේග පන්දු යවන Darcey Carter ද ස්කොට්ලන්ත පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කරන පන්දු යවන්නියන් ලෙසින් හැදින්වෙනවා.
පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, කවීෂා දිල්හාරි, කෞශිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, මිතාලි අයෝද්‍යා සහ නිමාෂා මීපගේ.
සංචිත ගත අනෙක් ක්‍රීඩිකාවෝ
කාව්‍යා කාවින්දි, විශ්මි ගුණරත්න, මල්කි මදාරා සහ චේතනා විමුක්ති.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















