Sooryavanshi ලෝකයක් දණ ගැස් වූ හැටි

11
Vaibhav Sooryavanshi

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සෙල්ලම් පිටියක් බවට පත් කළ 15 හැවිරිදි වියේ පසුවෙන Vaibhav Sooryavanshi, එතෙක් මෙතෙක් List A පිටියේ ලොව වේගවත් ම අර්ධ ශතකය වාර්තා කිරිමට සමත් වෙනවා.

ඔහු මෙම වාර්තාව තබන්නේ ශ්‍රී ලංකාවට එරෙහි ව වන අතර එහි දී ඔහු බිඳ හෙලන්නේ ද ශ්‍රී ලාංකිකයෙක් විසින් වසර 21ක් තිස්සේ හිමි කර ගෙන සිටි වාර්තාවක් වීමත් විශේෂත්වයක්.

List A පිටියේ වේගවත් ම අර්ධ ශතක ලැයිස්තුවේ ඉදිරි පෙළ
Balls Player Team Opposition Ground Year
11 Vaibhav Sooryavanshi (94) India A Sri Lanka A දඹුල්ල 2026
12 කොශල්‍ය වීරරත්න (66*) රාගම කුරුණෑගල තර්ස්ටන් 2005/06
13 තිසර පෙරේරා (52*) යුද හමුදාව බ්ලූම්ෆීල්ඩ් පනාගොඩ 2020/21
14 Rory Kleinveldt (55) Western Province KwaZulu-Natal Durban 2010/11
15 Adam Hollioake (59) Surrey Yorkshire Scarborough 1994
15 Salman Butt (92*) National Bank of Pakistan Lahore Eagles Lahore 2008/09
15 Parvez Hossain (61*) Abahani Limited Shinepukur Cricket Club Savar 2024/25
15 Sarfaraz Khan (62) Mumbai  Punjab Jaipur 2025/26

දශක දෙකක කාලයක් තිස්සේ මෙම ලැයිස්තුවේ පළමු අසුන වෙන් ව තිබුණේ ශ්‍රී ලංකාවේ කෞශල්‍ය වීරරත්න වෙතයි. එවකට රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කළ කෞශල්‍ය වීරරත්න කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජයට එරෙහි ව පන්දු 12කින් අර්ධ ශතකයක් ලබා ගනිමින් එහි පළමු වැනියා බවට පත් වුණා.

මෙම තරගයේ දී අංක 5 පිතිකරු ලෙසින් පිටියට පිවිසි කෞශල්‍ය වීරරත්න එම වාර්තාව පිහිටු වීමෙන් අනතුරු ව ඉනිම අවසන් වෙද්දී පන්දු 18කින් නොදැවී ලකුණු 66ක් ලබා සිටියා. එම ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 8ක් ඇතුලත් වෙනවා.

කෞශල්‍ය වීරරත්න එදා එම වාර්තාවේ දී අභිබවා යන්නේ පසු කාලයක එංගලන්ත ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නියෝජනය කළ Adam Hollioake ගේ වාර්තාවයි. එවකට 23 වැනි වියේ පසු වූ ඔහු Surrey කණ්ඩායම හා එක් වෙමින් National League Division One තරගාවලියේ දී Yorkshire කණ්ඩායමට එරෙහි ව මෙම වාර්තාව තබනවා. 1994 වසරේ දී තබන ලද එම වාර්තාව පන්දු 15කින් සමන්විත වූවා.

ඔහුගේ එම වාර්තාව වසර 11කට පසුව කෞශල්‍ය වීරරත්න සතු වෙද්දී Adam Hollioake ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී සිටියා. එදා කෞශල්‍ය වීරරත්න එවකට 24 හැවිරිදි වියේ පසු වූ අතර ඒ වෙද්දී ඔහු එක්දින ජාත්‍යන්තර තරග වරම්ලාභියෙක් වී සිටියා.

Vaibhav Sooryavanshi තමන් ගේ උපතට වසර 6කට පෙර ක්‍රිකට් වාර්තා පොත් අතර ලියැවී තිබූ වාර්තාවක් තමන් සතු කර ගන්නේ තවත් වාර්තාවන් කිහිපයක ම තමන් ගේ නම සටහන් කර ගනිමිනුයි.

ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ ලොව මේ සා දක්ෂතාවක් සිදු කළ ලාබාලත ම ක්‍රීඩකයා ද ලෙසයි. එමෙන් ම ඔහු 13 වැනි වියේ දී Bihar ක්‍රිකට් කණ්ඩායම හා එක් වෙමින් ඉන්දීය List A ක්‍රිකට් ඉතිහාසයේ ලාබාලතමයා ලෙසත් සහ එම වසරේ දී ම Rajasthan Royals කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ ලාබාලතමයා ලෙසත් වාර්තා පොත් අතර ට එක් වූවා.

කෙසේ වෙතත් Vaibhav Sooryavanshi ඉන්දිය A කණ්ඩායම නියෝජනය කරමින් List A තරග වරම් දිනා ගන්නේ මෙම තරග සංචාරයේ දී වීම විශේෂත්වයක්. ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර පැවැති මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග 4 දී ඔහුට දැවැන්ත ඉනිමක් කරා යෑමට හැකි වෙන්නේ නැහැ.

නිමා වූ එම ඉනිම්වල දී ඔහුගේ ලකුණු ලබා ගැනීම් වී තිබුණේ, ඇෆ්ගනිස්තානයට එරෙහි ව පළමු තරගයේ දී ලකුණු 44ක් සහ 2 වැනි තරගයේ දී ලකුණු 38ක් ද ශ්‍රී ලංකාවට එරෙහි ව පළමු තරගයේ දී ලකුණු 14ක් සහ 2 වැනි තරගයේ දී ලකුණු 21ක් ද ලෙසිනුයි.

මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සමඟ වූ 2 වැනි තරගයේ පැවැති සුපිරි පන්දුවාරයේ දී ද ඔහුට කණ්ඩායමට දැනෙන යමක් කිරීමට හැකි වෙන්නේ ද නැහැ. එය ඔහුට කෙතරම් පීඩනයක් වී ද යත් සත්කාරකයන් සමඟ ගැටුමකට ද ඔහු මුල් වූවා.

ඒ නොසන්සුන්කාරී හැසිරීම බොහෝ දෙනෙක්ගේ කතා බහට සහ විවේචනයට ලක් වූවා. ඔහුට එල්ල වන මේ පීඩනය හමුවේ මෙරට පැමිණි ඉන්දීය කණ්ඩායම Vaibhav Sooryavanshi ආරක්ෂා කරන පියවරක් අනුගමන කළා.

විශේෂයෙන් ම කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කළ Tilak Varma, එකී විවේචන හමුවේ තම කනිෂ්ඨ ක්‍රීඩකයා කෙරෙහි අනවශ්‍ය බලාපොරොත්තු ඇති නොකරන ලෙස ඔහු මාධ්‍ය මඟින් සහ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ද ඒ සම්බන්ධයෙන් එතරම් ම තැකීමක් කරනු දුටුවේ නැහැ. ඒ, ඔවුන්ට එම සිදුවීමට වඩා Vaibhav Sooryavanshi ආරක්ෂා කරගත යුතුය යන ආකල්පයේ සිටිමින් විය යුතුය.

අවසානයේ සිදු වූයේ ද ඔවුන් සිතූ සහ සැලසුම් කළ දේ ම විය යුතුයි.

එකී සිදුවීමෙන් දින 3ක ඇවෑමෙන් ඒ නොසන්සුන්කාරී සිදුවීම පාගා යට ගසා තමන්ගෙන් කණ්ඩායම බලාපොරොත්තු වූ සේවය මනාව ඉටු කිරීමට තරම් මානසිකත්වය දියුණු කර ගැනීමට මේ කුඩා Vaibhav Sooryavanshi සමත් වෙනවා.

ඔහුගේ පිළිතුර වූයේ ලෝකයක් ම කතා බහට ලක් වෙන ඉනිමක් ක්‍රීඩා කිරීමයි.

එය සටහන් වූයේ මේ ලෙසිනුයි..,

4 – 4 – 4 – 6 – 6 – 0 – 6 – 4 – 4 – 6 – 6Vaibhav SooryavanshiVaibhav Sooryavanshi තමන් මුහුණ දුන් පළමු පන්දු 11 දී මෙම වාර්තාව පිහිටුවන ලද අතර ඔහු ඉනිම නිමා කරන විට පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 94ක් ලබා සිටියා.

ඔහුගේ එම ඉනිමත්, නායක Tilak Varma, Ruturaj Gaikwad, Priyansh Arya සහ Kumar Kushagra එක් ව ශ්‍රී ලාංකීය පන්දු යවන්නන්ට හිත් පිති නොමැති ප්‍රහාරයක් එල්ල කළ අතර ඔවුන් එම තරගය ජයග්‍රහණය කරන්නේ Vaibhav Sooryavanshi ට තරගයේ වීරයා වීමටත් ඉඩකඩ විවිර කරමිනුයි.

ඔහුගේ මෙම ඉනිමත් සමඟින් මෙතෙක් මේ වසරේ තමන් මුහුණ දුන් තීරණාත්මක තරග 5ක දී ප්‍රතිවාදීන්ට හිසරදයක් වන ඉනිම් ක්‍රීඩා කිරීමට සමත් වීම විශේෂත්වයක් වූවා.

එහි දී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී පන්දු 33කින් ලකුණු 68ක්, එම තරගාවලියේ ම අවසන් මහා තරගයේ දී පන්දු 80කින් ලකුණු 175ක්, ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ Eliminator තරගයේ දී පන්දු 29කින් ලකුණු 97ක්, එම තරගාවලියේ දී ම Qualifier තරගයේ දී පන්දු 47කින් ලකුණු 96ක් සහ නිමා වු මෙම තරගයේ දී පෑ දක්ෂතාත් ඊට එක් වුණා.

මෙම තරග සංචාරය සඳහා එක් වීමට පෙර සිට ම Vaibhav Sooryavanshi ඉන්දීය කණ්ඩායම හා සමඟින් එළැඹෙන අයර්ලන්ත සහ එංගලන්ත විස්සයි විස්සයි තරග සංචාරයට එක් වෙන බවට පවසා තිබූ අතර ඇතැම් විට ඔහුට එහි දී සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මංගල තරගයට එක් වීමේ අවස්ථාව විවර විමේ ද ඉඩකඩ පවතිනවා.

එවැන්නක් සිදුවිය හොත්, එය Vaibhav Sooryavanshi ගේ ක්‍රිකට් ඉතිහාසයේ තවත් පිටුවක ඇරඹුමක් විය හැකියි.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<