ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ ඉනිමකින් කොදෙව්වෝ පරාජය කරයි

West Indies Academy tour of Sri Lanka 2026

22
West Indies Academy tour of Sri Lanka 2026

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර පැවැති සිවු දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තවත් දිනයක් ඉතිරි ව තිබිය දී ඉනිමකින් සහ ලකුණු 216ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ සමත් වෙනවා.

ඒ සමඟින් තරග ද්විත්වයකින් යුත් නිල නොලත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. දෙරට අතර පැවැති පළමු නිල නොලත් සිව් දින තරගය නිමා වෙන්නේ විසඳුමකින් තොරවයි.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (17) නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 231ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද කඩුලු 5ක් දැවී ලකුණු 553ක් ලබා ගනිමින් ඉනිම අත් හිට වූවා.

ලකුණු 322ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයන්ට එවර ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 106ක් පමණයි.

අද තරගය ආරම්භ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 430ක් ලබා සිටි අතර ඒ වෙද්දී අංජල බණ්ඩාර නොදැවී ලකුණු 48ක් ද සහ ශාරුජන් ශන්මුගනාදන් නොදැවී ලකුණු 33ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා අතුරින් අද පළමුවෙන් ම ඉනිම හැර යන්නේ ශාරුජන් ශන්මුගනාදන්. ඔහු පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 74කට දැවී ගියා. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 156ක සබඳතාවක් ද එක් කර තිබුණා.

ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවන විට අංජල බණ්ඩාර පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 105ක් ලබා සිටියා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 7 වැනි ශතකය වන අතර ඔහු මෙම සංචාරයේ සහභාගී වූ අවසන් ඉනිම් ත්‍රිත්වයේ දී ම ශතක ලබා ගැනීම කැපී පෙණුනා.

දිනුර කළුපහන ඉනිම අත්හිටුවන විට පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Zishan Motara ලකුණු 101කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Johann Layne, Giovonte Depeiza සහ Raneico Smith කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Shaqkere Parris. ඔහු පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

ඊට අමතර ව Damel Evelyn පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 26ක් ද සහ නායක  Rivaldo Clarke පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී අසිත වන්නිනායක ලකුණු 5කට කඩුලු 4ක් දවා ගන්නේ පන්දු 11ක් පමණක් යවමිනුයි.

ඔහුට අමතර ව ශක්ති උදාර ලකුණු 25කට කඩුලු 3ක් ද, මිහිරංග සිල්වා කඩුලු 2ක් ද සහ චමෝද් බට්ටගේ කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමික්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (67.5) Shaqkere Parris99, Rivaldo Clarke 57,  Nathan Edward 28, නිසල අබේරත්න 2/38, චමෝද් බට්ටගේ 4/51, ශක්ති උදාර 2/61
  • ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 553 (122.0) පුලිඳු පෙරේරා 145, රවිඳු රසාන්ත 60, අසිත වන්නිනායක 60, සහන් කෝසල 38, ශාරුජන් ශන්මුගනාදන් 74, අංජල බණ්ඩාර නොදැවී 105, Zishan Motara2/101
  • බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රිකට් කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 106(29.5)Damel Evelyn 26, Shaqkere Parris 28, Rivaldo Clarke 21, මිහිරංග සිල්වා 2/24, ශක්ති උදාර 3/25, අසිත වන්නිනායක 4/05

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 216ක ජයක්.

දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන නිල නොලත් එක්දින සීමිත පන්දුවාර තරගාවලිය මේ මස 22 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<